27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට තීරණාත්මක නේපාලය සමඟ තරගය අද

ශ්‍රී ලංකාවට තීරණාත්මක නේපාලය සමඟ තරගය අද

බංග්ලාදේශ පාපන්දු තරගයේ සිරියානු විනිසුරුට දෙහි කපයි

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරගය නේපාලයට එරෙහිව අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9. 30ට විදුලි ආලෝක ධාරා මැද නේපාලයේ ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ තරගය ජය ගැනීම හෝ අවම වශයෙන් ජය පරාජයෙන් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවහොත් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමේ හැකියාව උදා වේ. එහෙයින් නිමා වූ බංග්ලාදේශය සමඟ පරාජයේ අමිහිරි බව අමතක කොට අලුත් ජවයකින් නැඟී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සූදානමින් සිටිති.

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයේ ආරක්ෂාව හා ප්‍රහාරය යන සැලසුම වෙනුවට අද නේපාලයට එරෙහිව පළමු මිනිත්තු 45ක කාලය තුළදී පාපන්දු ක්‍රීඩාවේ ඉතා තීරණාත්මක මොහොතකදී භාවිතා කරන විරුද්ධවාදියාගේ ප්‍රතිචාරයට එරෙහි සිදු කරන ප්‍රහාරය (Counter Attack) තුළින් ඉදිරියට යෑමේ ක්‍රමවේදය භාවිතා කිරීම මූලික අදිටන වී තිබේ. එහිදී නේපාලයට තදබල පීඩනයක් එල්ල කිරීම අපේක්ෂාව වී තිබෙන අතර, එහි ප්‍රතිපලය මත තරගයේ දෙවැනි භාගය සැලසුම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු පිලේ කළමනාකාරීත්වය සුදානමින් සිටී.

මේ අතර, නිමා වූ බංග්ලාදේශය සමඟ තරගයේ 56 වැනි මිනිත්තුවේදී ඩන්ස්කන් පුස්ලාස් වෙත දුන් රෙඩ්කාඩ් පත හා බංග්ලාදේශයට දුන් දඬුවම් පහර සම්බන්ධයෙන් විශාල මතභේදයක් හටගෙන තිබේ. තරගයේ රුපවාහිනී පුනරුපණ පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ අතේ පන්දුව වදින අවස්ථාවේදී ක්‍රීඩකයා දඬුවම් පහර දිය හැකි කළාපයේ (Penalty Box) සිට මීටරයක පමණ එළියෙන් සිටිනු පැහැදිලිවම දක්නට ලැබීමෙන් මේ කැළඹිලි සහගත තත්ත්වය නිර්මාණය වී තිබේ. සිරියානු ජාතික රොස් ටවේල් විනිසුරු නියමිත පරිදි ස්ථානගත නොවී සිටියදී ශ්‍රී ලංකාවට අවාසිදායක තීරණයක් ලබාදීම පිළිබඳ ආසියානු පාපන්දු සම්මේලනයට ද මේ වන විට දැනුම්දී තිබේ.

රොස් ටවේල් විනිසුරුවරයාගේ තෙවැනි අන්තර්ජාතික පාපන්දු තරගය මෙය වීමෙන් ඔහු තුළ ඇති නොමේරු තත්ත්වය පැහැදිවන බව පාපන්දු විචාරකයෝ පවසති. එක් අවස්ථාවක ශ්‍රී ලංකා ගෝල් රකින ක්‍රීඩකයාගේ අතේ පන්දුව තිබියදී පිටතින් පන්දුවක් ගෙන බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට විධානය දීම වැනි සිද්ධීන් පැහැදිලි උදාහරණ බව බව ඔවුහූ පෙන්වා දෙති. කෙසේ වුවද මේ සියලු කරුණු පිළිබද ශ්‍රී ලංකා පාපන්දු නිලධාරීන් උසස් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයිද වාර්තා විය. ශ්‍රී ලංකාව ඉදිරියේදී ක්‍රීඩා කරන තරගවලට එම සිරියානු ජාතික විනිසුරුවරයා සහභාගි නොකරන ලෙසද සංවිධායකයන්ට දැනුම්දී ඇත.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ සිය දෙවැනි තරගයට එක් වන නේපාලය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 168වැනි ස්ථානයේ සිටින අතර, ඔවුන් මේ ශූරතාවලියේ සහභාගි වූ පළමු තරගයේදී සත්කාරක මාලදිවයින ගෝල් 1-0කින් පරාජය කොට උසස් මානසික තත්ත්වයකින් පසු වේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය ඉතිහාසය පුරා පාපන්දු තරග 17ක් ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 6ක් ශ්‍රි ලංකාව ජය ගෙන තිබේ. තරග 3ක් නේපාලය ජයග්‍රහණය කළේය. දෙරට අතර තරග අටක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

අද පැවැත්වෙන තරගය පිළිබඳ ශ්‍රී ලංකා පුහුණුකරු අමිර් ඇලජික් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ තවදුරටත් මේ ශූරතාවලියේ රැඳී සිටීමට නම් නේපාලය සමඟ තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වනු ඇති බවය. “පහුගිය තරගයේදි අපේ ක්‍රීඩකයන් හොඳට කළා. නමුත් විනිසුරුගේ වරදක් වුණා. මෙහෙම කිව්වාම මට දඬුවමක් කරන්න ඉඩ තියෙනවා. නමුත් තිත්ත ඇත්ත ඒකයි. ඒ තීරණයත් සමඟ අපේ ක්‍රීඩකයන් පහළට ඇද වැටුණා. රෙඩ් කාඩ් එකෙන් එළියට ගිය පුස්ලාස් ක්‍රීඩකයාට තරග දෙකක් තහනම්. ඒකත් අපට පාඩුවක්. මේ ශූරතාවලියේ සියලු කණ්ඩායම් එක වගෙයි. හොඳ කවුද? නරක කවුද? කියන්න බෑ. කොහොම වුනත් අද තරගය අපේ. එහෙම හිතලයි අපේ ක්‍රීඩකයන් පිටිය මැදට යන්නේ” ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…..