ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් උණුසුම් සටනක්
දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ඊයේ පැවැති ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙයි. දෙපිලම කරට කර තරගයක නියැළුණ අතර, පළමු භාගයේදී ඉන්දියාව ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. කෙසේ වුවද දෙවැනි භාගය ආරම්භ වීමත් සමග බංග්ලාදේශය තම තරග සැලසුම වෙනස් කරමින් ප්‍රහාරාත්මක ස්වරූපයකින් ක්‍රීඩා කළ අතර, 74වැනි මිනිත්තුවේදි යාසීන් අරෆාත් අගනා ගෝලයකින් ප්‍රබල ඉන්දීය පිල හා සම තත්ත්වයකට තම පිල ගෙන ආවේය. මේ තරගයේදී බංග්ලාදේශයේ බිෂිවානත් ගෝෂාප් නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් 56 වැනි මිනිත්තුවේදී රෙඩ් කාඩ් පෙන්වා පිටියෙන් නෙරපීමට විනිසුරු ක්‍රියා කළ අතර, බංග්ලාදේශය එතැන් සිට ක්‍රීඩකයන් 10කට සීමා විය. එහෙත් බංග්ලාදේශය ඉන්දීය පිලට දුන් පීඩනය ප්‍රබල එකක් විය.
ඉන්දියාව වෙනුවෙන් එකම ගෝලය 26 වැනි මිනිත්තුවේදී ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රී වාර්තා කළ අතර, එතැන් පටන් ඔහු වෙත නිසි පරිදි පන්දු යොමු නොවීමෙන් ගෝල් ලබා ගැනීමේ අවස්ථා අවම විය. චෙට්ත්‍රී ඉන්දියාව වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු තරග 100කට වැඩි තරග ගණනක් ක්‍රීඩා කර ඇති එකම ක්‍රීඩකයා වූ අතර, ඔහුගේ හසළ අත්දැකීම් මේ තරගය පුරා යොදා ගන්නා ආකාරය කැපී පෙනිණි.
චෙට්ත්‍රී ඊයේ රැස් කළ ගෝලයත් සමග තවත් සුපිරි වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව උදා වී ඇත. බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන පේලේ තම රටේ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් රැස් කළ අන්තර්ජාතික ගෝල් 77ක වාර්තාව අබිබවා යෑමට ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රීට තවත් ගෝල් 1ක් අවශ්‍යව ඇත. දැන් ක්‍රියාත්මක දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ඉන්දීය ප්‍රහාරක බළ ඈණිය ශක්තිමත් කරන චෙට්ත්‍රී මේ ගෝලය මාලදිවයිනේදී සම්පූර්ණ කළ හොත් ජාතික කණ්ඩායමක් වෙනුවෙන් ලොව වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා ලෙස පේලේගේ වාර්තාව බිඳ හෙළනු ඇත. බ්‍රසීලියානු පුරාවෘත්තයක් වන පෙලේ අබිබවා යෑමට ඉන්දීය නායකයා මේ ශූරතාවලියේදී විශාල බලාපොරොත්තුවකින් සිටින බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දීය පාපන්දු පුහුණුකරු පැවැසීය. පේලේ 1957 ජූලි 7වැනිදා බ්‍රසීලය වෙනුවෙන් පළමු අන්තර්ජාතික පාපන්දු තරගයට එක් වූ අතර, එහිදී ආර්ජෙන්ටිනාවට එරෙහිව සිය පළමු ගෝලය වාර්තා කළේය. පේලේ තම මව්බිම වෙනුවෙන් අවසන් අන්තර්ජාතික පාපන්දු ගෝලය රැස්කළේ 1971 ජූලි 18දා යුගෝස්ලාවියානු පාපන්දු කණ්ඩායමට එරෙහිව රියෝ ද ජැනයිරෝ නගරයේදීය.
2004 වසරේ සිට මේ දක්වා ඉන්දීය පාපන්දු කණ්ඩායම නියෝජනය කරන 37 හැවිරිදි සුනිල් චෙට්ත්‍රීට මේ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ තරග 4කට ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබී ඇති හෙයින් පේලේගේ එම ලෝක වාර්තාව බිඳ හෙළීමට පහසු වනු ඇතැයි විචාරක මතය වේ. චෙට්ත්‍රී මෙතෙක් වාර්තාකර ඇති ගෝල් 75න් 18ක්ම චීන තායිපේ, මාලදිවයින හා නේපාලයට එරෙහිව වාර්තා කර ඇති අතර, ගෝල් 10ක් බංග්ලාදේශයට හා ටජිකිස්තානයට එරෙහිව වාර්තා කළේය. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර ඇත්තේ එක් ගෝලයක් පමණි.
ප්‍රින්ස් ගුණසේකර
මාලදිවයිනේ සිට…..