28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහේලගේ මුම්බායි බලාපොරොත්තු ඉහළට

මහේලගේ මුම්බායි බලාපොරොත්තු ඉහළට

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට එක් වීමේ බලාපොරොත්තු ඉහළ දමා ගැනීමට මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.

ඒ රාජ​ස්තාන් රෝයල්ස් පිල සමඟ සාජාහිදී පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමි කර ගනිමිනි.

කෙසේ වෙතත් පසුගිය දෙවසරේදීම පිට පිට ශූරතාව දිනා සිටින මුම්බායි පිලට මෙවර වේලාසනින් අවසන් වටයට එක් වීමට නොහැකි විය. මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අවසන් වටයේ ස්ථාන වෙන් කර ගෙන ඇති බැවින් එම වටයට එක් වන අවසන් කණ්ඩායම සඳහා මුම්බායි සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර, තියුණු සටනක් නිර්මාණය වී තිබේ. කොල්කටා පිල තරග 13කින් 6ක් ජය ගෙන සිව්වැනි තැන පසු වන අතර, මුම්බායි පිල ජයග්‍රහණ 6ක් සමඟ 5 වැනි තැන සිටී. මේ කණ්ඩායම් දෙකටම මූලික වටයේදී ඉතිරිව ඇත්තේ තවත් තරගයක් බැගිනි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්තාන් පිල ලකුණු 90කට සීමා කළ මුම්බායි ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඕවර 8.2ක් පමණක් වැය කරමිනි.

ඉෂාන් කිෂන් පන්දු 25කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර, නායක රෝහිත් ශර්මා ලකුණු 22ක් සහ සූර්යකුමාර් යාදව් පන්දු 8කින් ලකුණු 13ක් රැස් කරමින් මුම්බායි ජය තහවුරු කළහ.

එවින් ලුවිස් ලකුණු 24ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්තාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට මුම්බායි පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තරගයේ වීරයා වූ නෙතන් කූල්ටර් නයිල් ලකුණු 14කට කඩුලු 4ක් දවාගත් අතර, ජෙම්ස් නීෂම් කඩුලු 3ක් බිඳ දැම්මේය.