28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ජනතාවගේ ස්වෛරී ඡන්ද බලය ආරක්ෂා කරන්න ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ 1980...

මෙරට ජනතාවගේ ස්වෛරී ඡන්ද බලය ආරක්ෂා කරන්න ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ 1980 අංක 44 දරන පනත සංශෝධනය කරනවා

සභානායක, අධ්‍යාපන අැමැති දිනේෂ් ගුණවර්ධන

කම්කරුවන් සුරක්ෂිත කිරීම පැතිකඩ කිහිපයක් ඔස්සේ රටට හිතකර ප්‍රතිඵල ගෙන එනවා

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

අද විදේශගතව ඉන්න අය සල්ලි එවන්න බයේ ඉන්නවා

මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා, බල රහිත වී තිබෙන ආයතන යළි ක්‍රියාත්මක කරන්න

මන්ත්‍රී රවුෆ් හකීම්

සනීපාරක්ෂක සේවාවල සේවය කරන වැඩිහිටි මහලු උදවියට වැඩ කළොත් විතරයි පඩි ගෙවන්නේ

මන්ත්‍රිනි හරිණි අමරසූරිය

මෙරට ජනතාවගේ ස්වෛරී ඡන්ද බලය වඩාත් පහසු කීරීම සහ ආරක්ෂා කිරීම සඳහා 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධන ඉදිරිපත් කරන බව සභානායක, අධ්‍යාපන අැමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කෙළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) පෙරවරු 10.00ට රැස් විය.

ලිපි ලේඛන, වාර්තා හා පෙත්සම් පිළිගැන්විමෙන් පසුව මන්ත්‍රිවරුන් විසින් අසන ලද ප්‍රශ්න වලට‍ අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායක, අධ්‍යාපන අැමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

දැනට වාර්ෂිකව සිදු කෙරෙන ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ දී එකී නාම ලේඛනය සහතික කිරීමෙන් පසුව සහ ඊළඟ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු අරඹන තෙක් වූ කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන සහ සෙසු අවශ්‍ය සුදුසුකම් සපුරනු ලබන යෞවනයන්ටද ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව මෙමඟින් සැලසෙනවා.

ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස 04කට වරක් සකස් කිරිමට මෙමඟින් අවස්ථාව හිමි වෙනවා. මම, ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. එය ඉදිරිපත් කරමින් සඳහන් කරන්නට ඕනේ, රටේ ජනතාවගේ ස්වෛරී බලය, ඡන්ද බලය ආරක්ෂා කිරීම, වඩාත් පහසු කිරීම සඳහා, 1980 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්න තීරණය කරලා, මේ සං‍ශෝධනයන් ඉදිරිපත් කරන බව. මේ සංශෝධනයන් අනුව, දැනට අවුරුද්දට එක් වාරයකට පමණක් සීමා වී තියෙන ඡන්ද ලියාපදිංචි කිරීමේ අයිතිය, කල් ඇතුව දීම සඳහා, එනම් 18 වයස සම්පූර්ණ වන තරුණයන්ට අවුරුද්දේ මුල් භාගයේ දී ඡන්දය ලියාපදිංචි කිරීමට හැකි වන ලෙස, ඡන්ද ලියාපදිංචි කිරීමේ අවස්ථාව සංශෝධනය වෙනවා. යම් වර්ෂයක පෙබරවාරි මාසයේ 01 දින සිට මැයි මස 31 වෙනි දින දක්වාත්, ජූනි මස 01 දින සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වාත්, ඔක්තෝබර් මස 01 දින සිට ජනවාරි මස 31 වෙනි දින දක්වාත් එසේ සංශෝධනය කිරීමේ අයිතිය ලැබීමෙන් ඡන්ද දායකයන්ට, විශේෂයෙන් තරුණ පරම්පරාවට, තම ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කරගැනීමේ අවස්ථාව මේ සංශෝධනය තුළින් විවෘත වෙනවා. ඒ වගේම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදීම ප්‍රමාද වන ක්‍රියාදාමයකට ලක්ව තිබෙන, අපේ මැතිවරණ කොමසාරිස්වරයා මුහුණ දෙන ඒ ගැටළු මේ තුළින් නිරාකරණය වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දත්ත බැංකුවක් මඟින් මුළු මහත් ඡන්ද ක්‍රමයම, ඉදිරි කාලයේ සියලු තොරතුරු එක් කිරීමෙන් මෙයටත් වඩා පහසු කිරීමට. දැනට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද සාකච්ඡා කරමින් ඉන්නවා, මැතිවරණ කොමිසම සමඟ ඒ සම්බන්ධයෙන්. ඡන්දයේ තියෙන අයිතිය එලෙස ශක්තිමත් කිරීම මඟින්, මේ රටේ ඡන්ද ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් භාවයට පරිවර්තනය කරන්නට අවශ්‍ය දත්ත විස්තරයද, එලෙස ඡන්ද දායකයන්ට ස්ථීර කර ගන්නට පුළුවන් කම මෙමඟින් ලැබෙනවා.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

සේවක අර්ථසාධක අරමුදල් පනතට විශේෂ සංශෝධන කීපයක් ඉදිරිපත් කරමින් සේවකයන් මෙතෙක් මූණදුන් ගැටලු රැසකට විසඳුම් සැපයීමට පියවර ගන්නවා. අපේ රටේ විශාල පිරිසක් විදේශ රටවල සේවය කරනවා. නමුත් ඔවුන්ට ඒ රටවලදී සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමේදී දුෂ්කරතාවලට මූණදෙන්න සිදු වෙලා. විශේෂයෙන්ම ඉන්දියාවේ සේවය කරන අය සේවය නිමකර මෙරටට පැමිණියත් ⁣එරට සේවය කළ ආයතනයෙන් අර්ථ සාධක අරමුදල් ලබා ගන්න අවුරුදු 58 සම්පූර්ණ වනතෙක් ඉන්න වෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් කරන්න ⁣මෙම නව සංශෝධන ඔස්සේ පියවර ගන්නවා. ඒ මගින් 58 පහුවෙනතෙක් ඉන්නේ නැතුව මුදල් මෙරට සේවක අර්ථ සාධක අරමුදලට බැරකරන නීති සැකසීමට ඉන්දියාව සමඟ නව ගිවිසුමකට එළැඹීමට යෝජනා කරනවා.

(නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මූලාසනයට පැමිණියේය.)

පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා (සජබ)-

අද දවසේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම⁣ට ආණ්ඩුව ගෙනා යෝජනාව අපි අගය කරනවා. අවුරුදු 18ට වැඩි සියලුදෙනාට ඡන්ද අයිතිය ලබාදීම ඉතා කාලෝචිත පියවරක්. ඒ සඳහා නව නීතිරිතී සැකසීම වෙනුවෙන් අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම දැනට දින ⁣නියමයක් නොමැතිව කල්ගොස් තිබෙන පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා බල රහිත වී තියෙන ආයතන යළි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා ආණ්ඩුවට මතක් කරනවා. ඒ සඳහා සීමා නිර්ණ ගැටලු නිරාකරණය කරලා ක්‍රමවේදයක් සකසන්න.

ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර මහතා –

සේවක අර්ථසාධක අරමුදල⁣ට සංශෝධන ගෙන එමින් හාම්පුතුන්ගේ හොර මැරකම් නතර කරන්න පියවර ගැනීම ගැන අපි ප්‍රංශසා කරනවා. නමුත් මේ මොහොතේ කම්කරු ජනතාව මූණ දෙන ගැටලු කිහිපයකට සභාවේ අවධානය යොමු කරන්න මම පියවර ගන්නවා. වතු කම්කරු සේවකයන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවන්න අපේ රජය බලයට පත් වූ පසු පියවර ගත්තා. නමුත් මේ වෙද්දි කුඩා හා මධ්‍ය පරිමාණයේ වතු හිමියන් පමණයි මෙය නිසිලෙස ක්‍රියාත්මක කරන්නේ.

පාර්ලි⁣මේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙ‍ෙනවිරත්න මහතා(පොජපෙ)-

අර්ථසාධක අරමුදලට එකතු කළ නව සංශෝධන මගින් කම්කරු ජනතාව තුල නව පිබිදීමක් ඇතිවීම අගය කරනවා. නමුත් මෙම පනත ගෙන එන වේලාවේ රටේ තියෙන බරපතළ වංචාකාරී ක්‍රියා රැසක් සිදුවන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන කතා කරන්න ඕනෑ. මෙරටට විදේශ විනිමය එන ප්‍රධාන ක්‍රමයක් තමයි විදේශ සේවය. ඩොලර් බිලියන 7.2ක් පසුගිය වසරේ මේ ඔස්සේ රටට ගලාගෙන ආවා. ඒජන්සිකරුවන්ට ලැබෙන කොමිස් මුදල් එක්ක ගත්තම එය බිලියන 10ක පමණ වනවා. 2021 වසරේ මේ අගය තවත් වැඩිවනවා. මෙරට ජනතාව විදේශ රටවල සේවයට ගිහින් රටට මුදල් ගෙන එනවා නම් අපි එ් අයගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර තිබුණත් මේ ආයතනයේ ඉන්න ඇතැම් නිලධාරින්ගේ දූෂිත ක්‍රියා නිසා රටට හිමිවිය යුතු මුදල් නිසි ලෙස නොලැබෙන තත්ත්වයක් උද්ගත වෙලා.

(දිවා ආහාරය සඳහා කල්තබන ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට යළි රැස් විය.)

පත් කළ මන්ත්‍රිනි හරිණි අමරසූරිය මහත්මිය (ජාජබ)-

සනීපාරක්ෂක සේවා වල සේවය කරන බොහෝ පිරිස වැඩිහිටි මහළු උදවිය. මේ මිනිසුන් වැඩ කරන්නේ කොන්ත්‍රාත් පදනම මත. ඒ වගේම මේ අය වැඩකළොත් විතරයි පඩි ගෙවන්නේ . කොවිඩ් නිසා මේ අයගෙන් බොහෝ පිරිසකට රැකියා පවා අහිමි වෙලා. ඒ වගේම ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිම පිළිබඳවත් යමක් කිය යුතුයි.

විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා-

සේවක අර්ථ සාධක අරමුදල කියන්නේ වැඩකරන ජනතාවගේ අරමුදලක්. එය දකුණු ආසියාවේ තිබෙන විශාලතම අරමුදලයි. මේ අරමුදල මේ තරම් විශාල වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වෙනුවෙන් දැක්වූ මැදිහත් වීම මතයි. ඕනෑම ආයතනයක් තමන්ගේ සේවකයන්ට ගෙවන මෙම මුදල් එකම තැනකට ගෙන ආ යුතු බවට තීන්දු කළේ මහින්ද රාජපක්ෂ මහතා. අර්ථ සාධක අරමුදල තමන්ගේ ජාතික හැදුනුම් පත් අංකයට අන්තර්ගත කිරිමේ වැඩසටහනක් අපි ආරම්භ කළා.

පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා (සජබ)-

විදේශිය ආයෝජන, ව්‍යාපාර ආදිය නිවැරදි ලෙස අපේ රටතුළ කළමණාකරනය වන්නේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණය නිවැරදි ලෙස යොදා ගනිමින් මේවා කළමණාකරනය කරනවා. පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙක හමාරක් වෙනවා. නමුත් තවමත් මහ මොලකරු හොයා ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව මේ ගැන කණගාටු වෙනවා.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා (පොජපෙ) –

මැතිවරණ පනත් කෙටුම්පතට අදාළව අද ඉදිරිපත් කරන මෙම සංශෝධනය මැතිවරණ සඳහා ලියාපදිංචි වන කාල සීමාව සංශෝධනය කිරීමට අදාළ වෙනවා. මේ සඳහා කාගෙත් අනුමැතිය ලැබෙනවා. ඡන්ද දායකයා හා මහජන නියෝජිතයා අතර බැඳීම අදවන විට යම් ප්‍රමාණයකට බිදවැටී තිබෙනවා. මේ ඡන්ද ක්‍රමය පවත්වාගෙන යනතෙක් දූෂණ වළක්වන්නට නොහැකි බවට ජනතා මතයක් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ)-

නිරූපමා රාජපක්ෂ මහත්මිය පාර්ලිමේන්තුවට පත්වන්නේ 1994දි. ඇයගේ සැමියා 1995 වනවිටත් සේව‍ය කළේ මේ රටේ ප්‍රධාන පෙළේ සමාගමක. යහපාලන ආණ්ඩුව සමයේදි මොහු මල්වානේ නිවෙසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට‍ පත් වෙනවා. ඔහුගේ ගිණුම් වලට විශාල වශයෙන් මුදල් පැමිණ තිබෙනවා. ඒ මුදල් කාගෙද . තිරු නඩේෂන්ගෙමද. මේ කළු සල්ලි දැනටමත් ලංකාවට ඇවිත් ඇති.

(දිවා ආහාරයෙන් පසුව නැවත පස්වරු 1.30ට පාර්ලිමේන්තුව ආරම්භ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණියේය.)

පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි (සජබ)-

පසුගියදා ඥානසාර හිමියන් ඉදිරියේදී රට තුළ ඇතිවන ප්‍රහාරයක් ගැන මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළා. ප්‍රහාරයට ලක්වන තැන්, ප්‍රහාරය දියත් කරන අය සියලු තොරතුරු උන්වහන්සේ දන්නවා කියනවා. ඒකට පස්සේ නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් දේවස්ථානයකට ගිහින් අනතුරු ඇඟවීමක් කරනවා. මෙවැනි දේවල්වලින් පැහැදිලි වෙනවා රටේ ජාතික ආරක්ෂාව අද තර්ජනයකට ලක්වෙලා කියලා. රට පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වෙද්දි විවිධ ජන කො⁣ටස් ත්‍රස්තයන් කරන වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම (සජබ)-

අර්ථ සාධක අරමුදලට නව සංශෝධන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ වැඩකරන අයගේ අර්ථ සාධක අරමුදල් මෙරටට ගේන්න හදන්නේ සේවකයන්ට ආදරේ නිසා නොවේ. රටේ ඩොලර් නැති නිසා. වැඩකරන අයගේ කැමැත්තක් නැතුව සල්ලි බලෙන් ගේන මේ වැඩපිළිවෙළට අපි විරුද්ධයි. අද විදේශ ගතව ඉන්න අය සල්ලි එවන්න බයේ ඉන්නවා. විශ්‍රාම සුවයෙන් ඉන්න අයගේ සල්ලි බලහත්කාරයෙන් ගන්න පියවර පරාජය කළයුතුයි. ඔවුන්ගේ කැමැත්ත මත පමණක් මුදල් ගෙන්වීමට අවසර දීමට සංශෝධනයේදී අවධානය යොමුකරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා (ශ්‍රීපොජපෙ)-

දැනට පවතින පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි අයට ඡන්ද බලය ඉල්ලා සිටීමේ ක්‍රමයක් පැවැතීම හොඳ ප්‍රවණතාවයක් නොවේ. එය වෙනස් කර වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ඉල්ලීමකින් තොරව ඡන්ද බලය දීම කාලෝචිත ක්‍රියාවක්. වර්තමානයේ තරුණයින් ඡන්ද බලය පාවිච්චි කිරීමේ පසුබෑමක් තියෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට නොගැ⁣ලපෙන දෙයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා (සජබ)-

අර්ථ සාධක අරමුදලට ගෙන එන නව සංශෝධන මඟින් ගොවි හා ධීවර ජනතාවටත් විශ්‍රාම වැටුපක් දීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. වත්මන් ආර්ථික පරිහාණිය නිසා ගොවි හා ධීවර ජනතාව අසරණ තත්ත්වයට පත් වෙලා. පොහොර නැතුව කෘෂිකර්මාන්තය කඩා වැටිලා. අසරණ ජනතාව ප්‍රශ්න වැළක පැටලිලා. මේ අයට කඩිනම් සහන දෙන්න කියලා ආණ්ඩුවට මතක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා (ශ්‍රිපොජපෙ)-

සර්වජන ඡන්ද බලය වසර ගණනාවකට කළින් ලැබුණත් මෙරට ඡන්ද ක්‍රමයේ තවදුරටත් විශාල ගැටලු රැසක් තියෙනවා. මිලිටරිකරණයට ආධාර නොදී ප්‍රජාතන්ත්‍රවාදීව පාලන බලය පිහිටුවීමට කටයුතු කරන ජනතාව වෙනුවෙන් ඔවුන් ලබාදෙන ඡන්දයට සාධාරණයක් කළ යුතුව තියෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අදාළ කාලය තුළ ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය මහතා (සජබ)-

අද වතු කම්කරුවොන්ට රුපියල් 1000ක වැටුප ගන්න කොන්දේසි විශාල ප්‍රමාණයකට මූණ දෙන්න වෙලා. ඔවුන්ට දැනට සියයට 50ක වැටුපක් විතරයි ලැබෙන්නේ. සාමූහික ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා වෘත්තිය සමිති නායකයන් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නෑ. ප්‍රශ්න කතා කරන්න කව්රුත් නැති නිසා කම්කරුවෝ නොසන්සුන්කාරී වීමේ අවධානමක් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී .දොළවත්ත මහතා (ශ්‍රීපොජපෙ)-

නැති ප්‍රශ්න ඇති කරමින් තවදුරටත් ජාතිවාදය අවුලවමින් රට ගිණි තියන්න එපා කියලා උතුරේ දමිළ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කරලා උතුර- දකුණ යා කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා යුද්ධය අවසන් කරලා රටේ සමගිය ඇති කළා. උතුරේ අයට දකුණටත්, දකුණේ අයට උතුරටත් යන්න මාර්ග පද්ධතිය සංවර්ධනය කරලා, දකුණට සමාන සංවර්ධනයක් උතුරටත් ගෙන යමින් සංහිඳියාව ඇති කර තිබෙන මොහොතේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා කියලා නැවතවරක් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා (සජබ)-

පැන්ඩෝරා පත්‍රිකා මඟින් රට තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ පත්‍රිකාවල නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන්ගේ නම් තියෙනවා. නමුත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු වෙයිද කියලා අපිට බරපතළ සැකයක් තියෙනවා. ⁣19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කරන්න අපි පියවර ගත්තා. නමුත් 20 සංශෝධනය මඟින් මේ සියලු ස්වාධීන බලතල තනි ජනාධිපතිවරයෙක්ට පවරගත්තා.

පිළිතුරු කතාව- කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

විපක්ෂය චෝදනා කළත් නව පනත් සංශෝධන මඟින් කිසිසේත්ම කම්කරුවන් ගසා කන්න සූදානමක් නෑ. මේක රටට වගේම කම්කරුවන්ට විශාල වාසියක් වන කටයුත්තක්. අවුරුදු 58කට පස්සේ ඉන්දියාවට ලියුම් ලියලා සල්ලි ගන්න එක වෙනුවට සේවය නිමකර එද්දි මුදල් ගන්න පුළුවන් ක්‍රමයක් මේ මඟින් හැදෙනවා. එපමණක් නොවේ සියයට 9ක පොළියකුත් මේ වෙනුවෙන් ගෙවන්න අපි කටයුතු කරනවා. මේ නීතිරිති කිසිවක් බලහත්කාරයෙන් ගෙන එන්නේ නෑ. කම්කරුවන් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා සැමට හිතවාදී තීරණ ගත්තේ. ආයෝජකයින් එන්නේ නෑ කියලා කියන එක දුර්මතයක්. කම්කරුවන්ට අපි සලකන ආකාරය අනුව තමයි අන්තර්ජාතික සමාගම් සහ ආයතන අපිට ඇනවුම් භාරදීම්, විවිධ වරප්‍රසාද ලබාදීම් කරන්නේ. කම්කරුවන් සුරක්ෂිත කිරීම පැතිකඩ කිහිපයක් ඔස්සේ රටට හිතකර ප්‍රතිපල ගෙන එනවා. වතු කම්කරු රුපියල් 1000 වැටුප දීමේ එකඟතාවය ගැටලුකාරි තත්ත්වයකට පත්වුණේ වෘත්තීය සමිති අතර එකඟතාවයක් නොමැති නිසා.

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 10.00ට යළි රැස් වේ.

 ස්වර්ණා විජේකෝන්, රුවන්ත නිතුල්ගස්පිටිය