28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී මුළු මාලදිවයිනම ගිගුම් දෙයි

ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී මුළු මාලදිවයිනම ගිගුම් දෙයි

විශිෂ්ට ක්‍රීඩා විලාශයක්: ශ්‍රී ලංකාව පැරදුණත් දිනුම්

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජයග්‍රහණයක් සොයමින් සිටි ශ්‍රී ලංකා පාපන්දු පිල සත්කාරක මාලදිවයිනට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ගෝල් 1-0ක සියුම් පරාජයක් ලබයි. 8000කට අධික මාලේ ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂා මැද පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා පිලට පිටිය මැද පීඩනය මෙන්ම ක්‍රීඩාගාරවල සිට මාලදිවයින පිල වෙනුවෙන් නඟන ඔල්වරසන් හඬ අමතර පීඩනයක් ගෙන දුන්නා නිසැකය. සංවිධායකයෝ විදේශිකයන්ට ප්‍රවේශපත්‍ර අලෙවිය සීමා කොට මාලේ වැසියන්ට ප්‍රමුඛතාව දීමෙන් සීමිත ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හඬ තුනී වී තිබිණි.

කෙසේ නමුත් මේ තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වුවද තරගය පුරා පෙන්වූ අභීත ක්‍රීඩා විලාශය හේතුවෙන් අවාසනාවන්ත පරාජය මෙතෙක් පැමිණි පාපන්දු ගමන් මගේ අමතක නොවන අත්දැකීමක් වනු ඇතැයි මාලේ නුවර සිටින පාපන්දු විචාරකයන්ගේ මතය වී තිබේ.

දකුණු ආසියා පාපන්දු ශූරයන් වන මාලදිවයින් පිලට සිතුසේ ගෝල් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ නොදුන් අතර, ගෝල් කණුව ආසන්නයේම ශ්‍රී ලංකාවට ගෝල් රැස් කිරීමේ ගැනීමේ පහසු අවස්ථා 4ක් පමණ ගිලිහී ගියේ අවාසනාවන්ත අයුරිණි. එමෙන්ම තරගය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී මාලදිවයින් ක්‍රීඩකයකු මොහොමඩ් ආකීබ් සමඟ හිතාමතාම ගැටීමෙන් කිසියම් කළබලකාරී තත්ත්වයක් හටගත් අතර, අවසානයේ ගැටුමට මුල් වූ මාලදිවයින් ක්‍රීඩක ඉබ්‍රහීම් අසීම්ට හා ආකිබ්ට කහ කාඩ්පත් අවවාද ලබාදුණි.

මාලදිවයින් ජාතික ක්‍රිඩාංගණයේ ඊයේ පැවැති මේ තරගය මෙවර පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය විය. තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම මාලදිවයින් පිලේ පළපුරුදු ක්‍රීඩක අලි අශ්ෆාක් ශ්‍රී ලංකා පිලට එරෙහිව ගෝල් කණුවට දකුණු අන්තයෙන් පැමිණ දැවැන්ත පහරකින් මාලදිවයින් නාමය ඉදිරියේ ගෝලයක් සටහන් කළේය. ශ්‍රී ලංකා පිලේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් එල්ල කළ එම පහරින් මාලදිවයින් පිලේ මානසිකත්වය ඉහළ ගිය අයුරු තරගය පුරා දක්නට ලැබිණි.

අන්තර්ජාතික පාපන්දු තරග 83කට ක්‍රීඩා කොට ඇති අලි අෂ්ෆාක් ඊයේ වාර්තා කළේ තම අන්තර්ජාතික පාපන්දු ජීවිතයේ 55 වැනි ගෝලය විය. අෂ්ෆාක් යම් දුරකට මෙල්ල කර ගැනීමට සමත් වීම මාලදිවයින් ලකුණු පුවරුවට වැඩිපුර ගෝල් එක් නොවීමට හේතු විය.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ ශූරතාවලියේදී එන්න එන්නම ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඉදිරියට ඇදුණ හෙයින් මාලදිවයිනට එරෙහි පෙරැළිකාරී වෙනසක් කාගේත් බලාපොරොත්තුව වී තිබිණි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 158 වැනි ස්ථානයේ සිටින මාලදිවයිනට තරගයේ දෙවැනි භාගයේදී ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වීම කැපී පෙනිණි.

මේ තරගයේ තාක්ෂණික දත්ත වාර්තා අනුව මාලදිවයින ගෝල් කණුව වෙත ප්‍රහාර 14ක් එල්ල කළ අතර, ශ්‍රී ලංකාව ප්‍රහාර 12ක් එල්ල කොට කරට කර සිටියේය. නිවැරදි ඉලක්කය වෙතම පන්දුව යොමු කිරීම මාලදිවයිනේ 6ක් වූ අතර, ශ්‍රී ලංකාවෙන් එවැනි අවස්ථා වාර්තා වූයේ එකකි. තරගය පුරා ක්‍රීඩකයන් ස්ථානගත වීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ සියයට 46ක් වූ අතර, මාලදිවයින සියයට 54ක් විය. ශ්‍රී ලංකා පිලේ නීති විරෝධී තරග හැසිරීම් (ෆවුල්) අවස්ථා 15ක් වූ අතර, මාලදිවයිනේ නීති විරෝධී තරග හැසිරීම් (ෆවුල්) අවස්ථා ඒ හා සමානම විය.

මාලදිවයින කෝනර් පහරවල් 8ක් එල්ල කරද්දී ශ්‍රී ලංකාවට කෝනර් පහර අවස්ථා 6ක් ලැබිණි. ක්‍රීඩකයන් අතර නිවැරදි පන්දු යොමු කිරීම් මාලදිවයිනේ සියයට 78ක් වූ අතර, ශ්‍රී ලංකාවේ එය සියයට 78ක් විය. ශ්‍රී ලංකාවට කහකාඩ් පත් අවවාද 4ක් හා මාලදිවයිනට කහකාඩ් පත් අවවාද 1ක් විනිසුරු පෙන්වීය.

මේ ශූරතාවලියේ මෙතෙක් නිමා වූ තරග ප්‍රතිඵල අනුව නේපාලය සහභාගි වූ තරග දෙකේම ජය ගෙන (ලකුණු 6) පෙරමුණේ සිටින අතර, මාලදිවයින තරග තුනකට සහභාගි වී ලකුණු සටහනේ ලකුණු 6කින් දෙවැනි ස්ථානයට පත්ව ඇත. බංග්ලාදේශය ලකුණු 4ක් ගෙන තෙවැනි ස්ථානයේ සිටින අතර, ඉන්දියාව සහභාගි වූ තරග දෙකම ජය පරාජයෙන් තොරවී ලකුණු 2ක් සමඟ සිවුවැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකාව එක් ලකුණක් සමඟ සටහනේ පස්වැනි ස්ථානයේ සිටී. ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ නේපාලය හා ඉන්දියාව අතර තරගයෙන් පසුව ලකුණු සටහන යම් වෙනසකට භාජනය වීමට නියමිතය.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…