27.5 C
Colombo
Thursday, May 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රීඩකයන් රට යද්දී ‘සංචාරයේ යෑම’ ක්‍රීඩා ඇමැති ඉවත් කරයි

ක්‍රීඩකයන් රට යද්දී ‘සංචාරයේ යෑම’ ක්‍රීඩා ඇමැති ඉවත් කරයි

පැරා දක්ෂයන්ට කෝටි අටකට වැඩි මුදල් තෑගි

අන්තර්ජාතික ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වන ක්‍රීඩා කණ්ඩායම් තරගාවලි සඳහා පිටත්වීමේදී සංචාර සඳහා සහභාගී වන බවට සිදුකරන ප්‍රකාශයේ ‘සංචාරය‘ යන වචනය ඉවත්කරන බවත් ඒ සඳහා තරගාවලියට සහභාගී වීම යන වචනය පමණක් භාවිතා කළ යුතු බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද මේ සම්බන්ධ ඉල්ලීමක් කර ඇති අතර, ඉදිරියේදී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අන්තර්ජාතික තරගවලට යෑමේදී සංචාරය යන වචනය ඉවත්කොට තරගාවලියට සම්බන්ධ වීම යන වචනය භාවිතා කරනු ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යන තරගය අමතක වුණොත් සංචාරය විතරක් මතක් වේවි. ඒ නිසා සංචාරයකට නොවෙයි ක්‍රීඩා තරගයක් වෙනුවෙන් රට නියෝජනය කරන්න යන්නේ කියන කාරණාව මුල සිටම අවබෝධ කරගත යුතුයි. ක්‍රීඩා කවුන්සිලය, ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුලු අංශ ගණනාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යන තරග ගැන සොයා බලනවා. ඇතැම්විට අප නිර්දේශ නොදුන්නාම මාධ්‍ය ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරපු කණ්ඩායමකට යන්න දුන්නා අයේ ආවේ නෑ. අප ජයග්‍රහණවලට යනවා වගේම රටේ ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක්, නිලධාරියෙක්, සංගමයක් වරදක් කළාම සමස්ත ක්‍රීඩාව කෙරෙහි වපර ඇහින් බැලීම වැරදියි“ ඇමැතිවරයා පැවැසීය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ ජයග්‍රාහී ක්‍රීඩකයන්ට හා එම උලෙළට සහභාගී වී ලෝකයේ හොඳම 16 අතරට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට මුදල් තෑගි පිරිනැමීමේ උත්සවය අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති මේ උත්සවයේදී පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් අට කෝටි හැත්තෑ පන්ලක්ෂයක (8,75,00000) මුදල් පිරිනැමුණු අතර, පුහුනුකරුවන් වෙනුවෙන් එක්කෝටි අනූ එක් ලක්ෂ විසිපන්දහසක (1,91,25,000) මුදල් හිමි විණි. ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5ක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් කෝටියක් පිරිනැමුණි. හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 2ක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පිරිනැමුණි. දිනේෂ් ප්‍රියන්ත, සමිත දුලාන් හා සම්පත් හෙට්ටිආරච්චි ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ පනස් දහසක ( 1,77,50,0000) ක මුදලක් නාමල් රාජපක්ෂ මහතා අතින් පිරිනැමුණි.

ඔරු පැදීමේ ක්‍රීඩක ප්‍රියමාල් ජයසිංහ, මීටර් 400 ක්‍රීඩක මදුරංග සුබසිංහ, දුර පැනීමේ ක්‍රීඩක කුමුදු ප්‍රියංකා හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සම්පත් හෙට්ටිආරච්චි ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 10 බැගින්, යගුලිය විසිකිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාරට රුපියල් ලක්ෂ 15ක් මෙහි දී ප්‍රදානය කෙරුණි. පුහුණුකරුවන් වන යු. පී. ඩී. පෙරේරා මහතාට රුපියල් හය ලක්ෂ විසි පන්දහසක් (6,25,0000) එස්. එම්. සුබසිංහ ක්‍රීඩකයාගේ පුහුණුකරු සජිත් ජයලාල්, කුමුදු ප්‍රියංකාගේ පුහුණුකරු ඒ. ආර්. රත්නායක හා ප්‍රිමාල් ජයකොඩිගේ පුහුණුකරු ලසන්ත වැලිකල මහත්වරුන්ට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් (2,50,000) පිරිනැමුණි.

“ක්‍රීඩා අමාත්‍යාංශය සුබසාධන අමාත්‍යාංශය නොවෙයි. ජයග්‍රහණය සඳහා ක්‍රීඩකයන් බිහිකරන තැන. ක්‍රීයාශීලී ප්‍රජාවක් නිර්මාණය කොට අන්තර්ජාතික තරග ජයග්‍රහණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසන තැන. ඒ සඳහා දක්ෂතා මත පදනම්ව ඇගැයීම් කිරීමට අප සූදානම්. ලබන වසර ක්‍රීඩා කේෂත්‍රයට ඉතා වැදගත් වසරක්, ආසියානු ක්‍රීඩා උලෙළ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ වගේම මේ වසරේ සිවුකොන් පාපන්දු තරගාවලියක් අපේ රටේ පැවැත්වෙනවා“

“පැරාලිම්පික් ජයග්‍රාහකයන් අභිමානවත් පිරිසක් ලෙස මා නම් කරනවා. එක් හේතුවක් ඔබේ පුහුණුවීම් හොඳින් කැපවී කිරීම. අනෙක් කරුණ විනය ආරක්ෂා කරමින් අනෙක් ක්‍රීඩකයන්ට ආදර්ශයක් සැපයීම. ඉදිරියේදී මේ අභිමානවත් ජයග්‍රහණ රැක ගැනීම ඔබට අභියෝගයක්. අප පැරාලිම්පික් හා ඔලිම්පික් දෙකම සම තැනක සලකනවා. සියලු දෙනාට සමානව සැලැකීම අපේ යුතුකමක්. මේ පණිවිඩය ගමට ගෙනවිත් තවත් ජයග්‍රහණ ලබාගත හැකි තරුණ පිරිසක් නිර්මාණය කිරීම වගකීමයි. අප ඒ තරුණයන්ගේ වගකීම ගන්නවා“ ක්‍රිඩා ඇමැතිවරයා පැවැසීය.

 

ප්‍රින්ස් ගුණසේකර