ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරාජය කරමින් චෙන්නායි පිල මේ අවස්ථාව උදා කර ගත් අතර, ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ 9 වැනි අවස්ථාව මෙයයි. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් දිල්ලි පිල දුන් ලකුණු 173ක ඉලක්කය හඹාගිය චෙන්නායි පිල පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය අත් කර ගත්තේ කඩුලු 6ක් අහිමි කර ගනිමිනි.
රුතුරාජ් ගයික්වාඩ් සහ රොබින් උතප්පා එක්ව චෙන්නායි පිල ජයග්‍රාහී මාවතට ගෙන ගියේ දෙවැනි කඩුල්ලට පන්දු 77කින් ලකුණු 110ක සබඳතාවක් ගොඩනඟමිනි.
ගයික්වාඩ් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 70ක් රැස් කළේ පන්දු 50කිනි. උතප්පා පන්දු 44කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 63ක් ඉනිමට එක් කළේය. ජයග්‍රහණය වේගවත් කළ නායක දෝනි නොදැවී ලකුණු 18ක් රැස් කළේ පන්දු 8කිනි. පන්දු යැවීමේදී ටොම් කරන් කඩුලු 3ක් දවා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් දිල්ලි ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ප්‍රිත්වි ෂෝ පන්දු 34කින් ලකුණු 60ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟිනි.
නායක රිෂාබ් පාන්ට් ලකුණු 51ක් සහ ශිම්රන් හෙට්මයර් ලකුණු 37ක් ඉනිමට එක් කළ අතර, පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් කඩුලු 2ක් බිඳ දැම්මේය.
මේ තරගයෙන් පරාජය වූ දිල්ලි පිලට අවසන් තරගයට එක් වීමට තවත් අවස්ථාවක් තිබේ. ඒ ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමඟ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට එක්වෙමිනි.
එම තරගය හෙට (13) පැවැත්වීමට නියමිත අතර, අයිපීඑල් අවසන් මහා තරගය ලබන 15 වැනිදා පැවැත්වේ.