පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
ගෑස්, කිරිපිටි ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අයුරින් වැඩි කිරීමට ඉඩ දී අහක බලාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩුව එරෙහිව දැඩි අප්‍රසාදය පළ කරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.
රටේ මහජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ කූට ව්‍යාපාරිකයන් සහ සමාගම් මුදලාලිලාගෙන් සමන්විත ආණ්ඩුවක් සෑදීමට නොවේ. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව හෝ රට පාලනය කරමින් සිටින බවක් මේ මොහොතේ පෙනෙන්න නෑ.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“ගෑස් සිලින්ඩරයක මිල ලිට්රෝ සමාගම රුපියල් 1257කින් සහ ලාෆ් ගෑස් සමාගම රුපියල් නවසිය ගණනකින් වැඩි කිරීම හරහා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2800ක් දක්වා වැඩි වෙලා. එය ඉතාමත් බරපතළ කාරණයක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේ තරම් ඉහළ අගයකින් ගෑස් මිල වැඩි කර තිබෙන්නේ. ඉස්සර වැඩි වුණේ රුපියල් 50ක 100ක මුදලකින්. ඊට එහා මුදලකින් වැඩි කළේ නෑ. අවාසනාවට මේ ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ පාරිභෝගිකයන් පිට බර පටවමින් සිටිනවා. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් සත පහකට ගණන් ගන්නේ නැතිව මේ ආකාරයෙන් ගෑස් මිල වැඩි කිරීම් හරහා මේ රටේ ජනතාව බරපතළ අර්බුදයකට ලක් කර තිබෙනවා.
ගෑස් විතරක් නොවෙයි, පාන් පිටි රුපියල් 10කින්, සිමෙන්ති රුපියල් 93කින්, කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝවක් රුපියල් 250කින් වැඩි කිරීම හරහා මේ රටේ ජනතාව කබලෙන් ළිපට ඇද දමා තිබෙනවා. මේකටද ආණ්ඩුව පත් වුණේ. මේ වැඩි වීම හරහා ජීවන බර ජනතාව දරා ගන්නේ කොහොමද. ආණ්ඩුව මෙය සරලව හිතන්න පුළුවන්. ඕන තරම් මුදල් අච්චු ගහන්න පුළුවන්. සුන්දර කතා කියන්නත් පුළුවන්. ප්‍රශ්නය ඒක නොවෙයි, වැඩි කිරීම හා බඩු භාණ්ඩ ගැනීමට මහජනතාවට හැකියාවක් තිබෙනවාද කියන එක බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිවරයාගේ වචනවලින් කියනවා නම් ක්‍රය ශක්තියක් තිබෙනවා ද භාණ්ඩවල වැඩි වන වියදම දරා ගන්න. මේ රටේ සාමාන්‍ය පන්තියට පුළුවන්ද. පැන්ඩෝරා පත්‍රිකාවල විවිධ මුදල් තැන්පත් කළ පිරිස්වලට මෙය අමාරුවක් නෑ. ආණ්ඩුවේ ජාවාරම් ව්‍යාපාරවල යෙදෙන අයටත් මේ පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නෑ. හැබැයි අපට ඡන්දය දුන් අයට පමණක් නොවෙයි, ආණ්ඩුවට ඡන්දය දුන් අයත් විශාල අසීරුතාවකට පත් වෙලා.
මේ වැඩි වන ජීවන වියදම පවුලකට මාසයකට කොච්චරක් වෙනවාද? රුපියල් පන්සීයක් දාහක් නොවෙයි, මේ වැඩි වන ජීවන වියදම අනුව රුපියල් දහ දාහක් වත් අඩුම ගානේ වැඩි කිරීම හරහා දරන්න සිදු වෙනවා.”
පහන් විජේසේකර