පාපන්දු ලීග්වලට වියළි සහන මලු 5070ක්
දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගී වූ ජාතික පිලේ ක්‍රීඩකයන් 27කට පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 96ක මුදල් දීමනා ගෙවා ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. කලට වේලාවට ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පූර්ණ අවධානය යොමු කළ හෙයින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් වෙනදාට වඩා තෘප්තියකින් දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී රට වෙනුවෙන් කැප වු බව ඒ මහතා පැවැසීය. මෙහි නියම ප්‍රතිඵලය ලබන මාසයේ කොළඹදී පැවැත්වෙන සී ෂෙල්ස්, මාලදිවයින, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගී වන සිව්කොන් අන්තර්ජාතික පාපන්දු ශූරතාවලියේදී දැකගත හැකිවනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.
දකුණු ආසියා පාපන්දු ශුරතාවලිය අතරතුර මාලේ නුවරදී මාධ්‍ය හමුවක් අමතමින් පාපන්දු සභාපතිවරයා මේ බව පැවැසීය.
“මා දැකපු දෙයක් තමයි ජාතික පාපන්දු කණ්ඩායමේ මුලික දේවල් වලට පහුගිය කාලයේ විසඳුම් දී නැති බව. දකුණු ආසියා ශූරතාවලියට ආවේ හිටපු කණ්ඩායමයි. ඒ කණ්ඩායම මාස එකහමාරකින් වෙනසක් කළා. එහෙම වුණේ කණ්ඩායම ඇතුලට ගිහින් බැලුවා මොකක්ද ප්‍රශ්නය කියලා. ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අප උත්තර දුන්නා. ඒ වගේම ක්‍රීඩකයන්ට ඉලක්කයක් දුන්නා. තරගයෙන් තරගයට ළඟට ගිහින් කතා කළා. ඔවුන් සමග කතා කරද්දී හඳුනාගත් අඩුපාඩු වලට විසඳුම් දුන්නා” ජස්වර් මහතා පැවැසීය.
“දැන් ජාතික කණ්ඩායමේ සිටින හැම ක්‍රීඩකයකුටම ඉදිරියේදි කොපමණ ක්‍රීඩා කළ හැකිද කියා අප තක්සේරුවක ඉන්නවා. ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට සමුදුන් පසු ඔහුගේ අනාගතය වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් සකස් කරනවා. ඔහු පුහුණුකරුවකු වෙනවාද නැත්නම් පාපන්දු ක්‍රීඩාවේ වෙනත් අංශයකට යොමු කරනවාද යන්න කල් ඇතිව හඳුනා ගත යුතුයි. ඒ වෙනුවෙන් අප සැලැස්මක් හදනවා. ඉදිරියේදී පාපන්දු ක්‍රීඩාවට එන දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ඇති බව අප තහවුරු කරනවා. එහෙම වුණාම මව්පියන් ක්‍රිකට් වගේම පාපන්දුව ගැනත් හිතයි” ජස්වර් මහතා සඳහන් කළේය.
ඉදිරි කාලයේදී ජාතික පාපන්දු පුහුණුකරු වෙනස් වනු ඇතැයි ද පාපන්දු සභාපතිවරයා ඉඟි පළ කළේය. “අද සිටින ජාතික පුහුණුකරු බඳවා ගත්තේ තාක්ෂණික අධ්‍යක්ෂ තනතුරටයි. ඔහුට වැටුප් ගෙවන්නේ ඒ තනතුරට අදාළවයි. ලෝක පාපන්දු සම්මේලනයේ නීති අනුව තාක්ෂණික අධ්‍යක්ෂ හා පුහුණුකරු තනතුරු දෙකම එක් අයකුට දරන්න බෑ. ඒ නිසා ඉදිරියේදී යම් වෙනසක් වේවි. අපේ ජාතික පාපන්දු පුහුණුකරුට සුදුසුකම් තියෙනවා. නමුත් ලංකාවට ගැලපෙන ආකාරයට ජාතික කණ්ඩායම පුහුණු කිරීමේදී යම් ප්‍රශ්න තිබෙනවා. ඉදිරියේදී අඩුපාඩු හදාගෙන යා යුතුයි”
මේ මාධ්‍ය හමුවට එක් වූ පාපන්දු ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පැවැසුවේ පසුගිය කාලයේ ජාතික පුහුණුකරු යම් කලකිරිමකින් පසු වු බව පාපන්දු පරිපාලනයට වැටහී ඇති බවයි. “ඔහුට යම් අගය කිරීමක් තිබිලා නෑ. ජාතික කණ්ඩායම භාරව වැඩ කරන්න බැරි නිලධාරීන් යොදවා තිබුණා. ඒ අය කොහොමද පුහුණුකරුට උපදෙස් දෙන්නේ. පුහුණුකරු දෙයක් කීවාම පිළිගන්න තත්ත්වයක් තිබිලා නෑ. දැන් පුහුණුකරු නිදහස් මනසකින් වැඩ කරනවා. අපේ බලපෑම් නෑ. සභාපති ජස්වර් මහතා පමණක් ජාතික කණ්ඩායමේ ප්‍රශ්න සොයා බලනවා. මුලු විධායක සභාවම ඒ සඳහා බලය පවරා තිබෙනවා. සෑම තරගයකටම සභාපති සහභාගි විය යුතුයි කියා අප තීරණය කළා. සෞදි පුහුණු කඳවුර ඔහු නිරීක්ෂණය කළා. පසුගිය කාලයේ සභාපති ඉතාම කාර්ය බහුලව වැඩ කළා. කලක් අප සමග වැඩ කළ මාකෝස් පෙරේයිරා මහතා ජාතික පාපන්දු පිලට හා 23න් පහළ කණ්ඩායමට යෝග්‍යතා පුහුණුකරු ලෙස පත් කරනවා.” රුද්‍රිගූ මහතා පැවැසීය.
අන්තර්ජාතික තරගාවලි අඩුවීම හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ශක්තියේ අඩුවක් පෙන්නුම් කරන බවත් තරගයෙන් තරගයට අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යා යුතු බවත් රුද්‍රිගූ මහතා අවධාරණය කළේය.
පාපන්දු සම්මේලනයේ මුදල් විනිවිදභාවයෙන් යුතුව පරිහරණය උදෙසා අභ්‍යන්තර විගණකවරයෙක් පත්කිරීමට ඉදිරි මාස දෙක තුන ඇතුලත කටයුතු කරන බව ද රුද්‍රිගු මහතා සඳහන් කළේය. “මා පසුගිය කාලයේ මේ සම්බන්ධ යෝජනා කළා. නමුත් ඒවා කෙරුණේ නෑ. ඒ නිසා සම්මේලනය තුල විශාල මුල්‍ය ගැටලු පැන නැගුණා. දැන් පරිපාලනය විධිමත් වී තිබෙනවා. අප සමඟ ඡන්දයේ දී විරුද්ධ වූ අය පවා කමිටුවල කටයුතු කිරීමට වගකීම පවරා තිබෙනවා. සභාපතිගේ නව දැක්ම උදෙසා විශේෂ කාර්ය බළකායක් පත් කොට කාර්යයන් පවරා තිබෙනවා. උප සභාපතිවරුන්ට පළාත් බෙදා දී තිබෙනවා. අප කිසිම අයකු සමග තරහ නෑ. අප අතීතය වල දාලා හමාරයි. පශ්චාත් පරික්ෂණ වාර්තා අවශ්‍ය නෑ. එකතු වෙලා වැඩ කරන්න පාපන්දු නිවහනේ දොරවල් සියල්ල ඇරලා තියෙනවා” රුද්‍රිගු මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වු ලීග් වල සාමාජිකයන්ට, නිලධාරීන්ට හා විනිසුරුවන් ඇතුලු සියලු දෙනාට ලබන මස 12 දා සිට වියළි ආහාර මලු 5070ක් ප්‍රදානය කිරිමේ සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ද ඒ මහතා මාධ්‍ය හමුවේදි හෙළි කළේය.
සුම් තාක්ෂණය ඔස්සේ කවුන්සිල් රැස්වීමක් කැඳවා පාපන්දු ලාංඡනය වෙනස් කිරීමට කටයුතු කොට ඇතැයි පාපන්දු සභාපතිවරයා සඳහන් කළේය. “පාපන්දු ව්‍යවස්ථා සංශෝධනය අපේ මුලික ඉලක්කයක්. ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද ක්‍රීඩා අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනවා. අනතුරුව ආසියා හා ලෝක සම්මේලනවලට එය ඉදිරිපත් කොට අනුමැතිය ලබා යළිත් ක්‍රීඩා කවුන්සිලයට ඉදිරිපත් කර අනුමැතිය ගත යුතුයි. ලීග් වල වෙනසක් වන්නේ නෑ. විනිසුරු සංගමයට හා පුහුණකරුවන්ගේ සංගමයට ඡන්ද අයිතිය ලැබෙනවා. ලිග්වලට ඡන්ද දෙක තුනක් දැන් තියෙනවා. එය එකක් කළ යුතුයි කියා යෝජනාවක් තියෙනවා. මේ සියල්ල සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ව්‍යවස්ථාවක් මාරු වෙනකොට ඉන්න නිලධාරීන්ට ඡන්දයක් නැතිව ඉදිරියේ යම් කාලයක් සිටිය හැකි ක්‍රමචේදයක් තිබෙනවා. ඒක අන්තර්ජාතික නීතියක එක්තරා ජේදයක් අනුව සිදුවනවා” ජස්වර් උමාර් මහතා පැහැදිලි කළේය.
“එක්තරා පිරිසක් අතරේ තිබුණු පාපන්දුව අප මුලු රටටම විවෘත කළා. දැන් හැම දෙනාම පාපන්දුව ගැන කතා කරනවා. රටටම පරිපාලනය විවෘත කොට තිබෙනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා. අපට බලයේ රැදී ඉන්න තණ්හාවක් නෑ. විවෘතභාවය තියාගෙන හොඳ වැඩක් කරනවා. අපව ඕනේ නෑ කියලා ඡන්ද දායකයෝ කිව්වොත් ගෙදර යනවා. අප ආරම්භ කළ ගමනේ සාර්ථක ප්‍රතිඵල ගන්න තව අවුරුදු තුනක්වත් සාමාජික සංගම් කාලය දෙයි කියා හිතනවා” ජස්වර් මහතා ඉල්ලිමක් ද කළේය.
වසර 2013 – 2015 කාලය තුලදී කටාර් පාපන්දු සම්මේලනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ද හිටපු පරිපාලනය එය ඉදිරියට ගෙන යෑමට අසමත්වීමෙන් පාඩුවක් සිදුවූ බව රංජිත් රුද්‍රිගු මහතා පැවැසීය. කටාර් පාපන්දු සභාපති හමු වී නැවැත අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නීතිමය කටයුතු කරමන් පවතින බව ඒ මහතා පැවැසීය. “කටාර් නිලධාරීන් කණගාටු වුණා පසුගිය පරිපාලනය කටයුතු කළේ නැ කියා. නව සභාපතිගේ නව දැක්ම සමඟ ශ්‍රී ලංකාවට උදව් කිරීමට කටාර් කැමැති වුණා. තවත් රටවල් කිහිපයක්ම ඉදිරියේදී උදවු කරයි.
කාන්තා පාපන්දුව ඉදිරියේදී දියුණු කළ යුතුයි. එයින් ක්‍රීඩිකාවන්ට පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ විශාල අවස්ථාවක් ලැබුණා. ඔලිවියා ගමගේ මහත්මිය කාන්තා පාපන්දු වැඩබලන සභාපති ලෙස පත් කොට තිබෙනවා. කාන්තා පාපන්දු හිටපු සභාපති කාන්තා කණ්ඩායම හමු වෙලා නෑ. නමුත් ආසියානු ලෝක පාපන්දු සම්මේලන රැස්වීම්වලට රට ගිහින් තිබෙනවා” රුද්‍රිගූ මහතා පැවැසීය.