මල්ලවපොර ලෝක ශූරතාවලියට සහභාගී වීම උදෙසා ඔස්ලෝ නුවරට ගොස් ක්‍රීඩකයන් සතු මුදල් සොරකම් කොට අතුරුදන් වූ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපති හා කණ්ඩායමේ කළමනාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත, අන්තර්ජාතික මල්ලවපොර සම්මේලනයට හා නෝර්වේ මල්ලවපොර සම්මේලනයට මේ බව දැනුම්දීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා කටයුතු කර ඇත.
පසුගිය දෙවැනිදා සිට දහවැනි දින දක්වා ඔස්ලෝ නුවර පැවැති ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීම සඳහා කණ්ඩායම පිටත්ව ගිය අතර, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර දින (7 දා) කණ්ඩායමේ කළමනාකරු ඔස්ලෝ නුවරින් අතුරුදන් වී ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් විදේශගත වීමේ දී රුපියල් ලක්ෂ 10ක ඇප බැඳුම්කරයක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වන බැවින් එම ඇප බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමකින් තොරව 2019 වසරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් මේ ලෝක ශූරතාවලියට පිටත් කර යැවීම පිළිබඳ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා උසස් දක්ෂතා කමිටුව එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඒ සඳහා අවස්ථාව නොදීමට තීරණය කර තිබූ අතර, එම තරගාවලියට සහභාගීවීමට පමණක් අවස්ථාව දෙන ලෙස මල්ලවපොර සම්මේලනය කළ ඉල්ලීමක් සලකා පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමි විය.
තරගාවලියට ඉදිරිපත් වීමට පමණක් ක්‍රීඩකයන් වෙනුවෙන් දුන් මේ අවස්ථාව අනිසි ලෙස භාවිත කර තම පෞද්ගලික අරමුණ ඉටු කරගැනීම හේතුවෙන් අන්තර්ජාතික තලයේ රටේ කීර්ති නාමය හා ක්‍රීඩාවේ අභිමානය හෑල්ලුවට ලක්කර ඇතැයි මල්ලවපොර සම්මේලනයේ උප සභාපති හා කණ්ඩායමේ කළමනාකරු ට එල්ලවී ඇති බරපතල චෝදනාවකි.
ඔස්ලෝ නුවරදී අතුරුදන්ව ඇති ඔහු සිය කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී ගත යුතු පීසීආර් පරීක්ෂණවලට අවශ්‍ය මුදල් ද රැගෙන ගොස් ඇති බවට සඳහන් වේ. මේ තරග සංචාරය සම්බන්ධව මල්ලවපොර සම්මේලනයේ අදහස් පමණක් සැලකිල්ලට ගනිමින් මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු සමාජගත වීම පිළිබඳ කනගාටු වන බවත්, මල්ලවපොර සම්මේලනයෙන් ද ඒ පිළිබඳ කරුණු විමසීමක් සිදුකිරීමට නියමිත බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.