හිටපු පා.ම නාලක කොලොන්නේ
මෙරට ජනතාව හොඳ ජීවන තත්ත්වයත් ගත කළානම් ඒ එජාප පාලන කාලවලදී පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා පැවසීය.
කැලෑවට ලොස් තිබූ ඉඩකඩම් අස්වද්දවා ජනතාව එහි පදිංචි කර රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නට එවකට හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයන් කටයුතු කළ බව හෙතෙම පොළොන්නරුවේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එද රැක දුන් සක්‍රීය භූමිය අද නොතිබුණේ නම් බලයට පත්වන ආණ්ඩුවලට සිදු වන්නේ පිට රටට වැඳ වැඳ සිටීමට බව ඒ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා දුරදක්නා නායකයකු නිසා එතුමා මෙරට සංවර්ධනය වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගෙන යද්දි එය දරාගත නොහැකි වූ පිරිස් එය කඩාකප්පල් කර පක්ෂය විනාශ කළ බව පැවැසූ ඒ මහතා පක්ෂයෙන් ගිය බොහෝ පිරිසකට ඇති වී තිබෙන තත්ත්වය අවබෝධ වෙමින් තිබෙන නිසා නැවත රනිල් මහතා සමඟ එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකාශ කළේය.
ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවා ඒ මගින් මෙරට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව නාලක කොලොන්න මහතා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.
“අද මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවන බර තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. කිසි ඉවක් බවක් නැතිව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමමින් සිටිනවා. මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් මිනිස්සුන්ට හිඟා කන්න තමයි වෙන්නේ. ඒ නිසා අප ජනතාවගෙන් ඉල්ලන්නේ මේ අයට හසුවෙන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙන්න කියා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්න අප සූදානමින් සිටිනවා.”
එම්.පී සරත් – පොළොන්නරුව දිස්ත්‍රික් සමූහ