කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
කම්කරුවා සහ ආයෝජකයා ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම බවත් ඉදිරියටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුව මේ වන විට කම්කරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් කරමින් සිටින බව පැවැසූ ඇමැතිවරයා කොවිඩ් වසංගතය හේතුවෙන් ජන ජීවිතය අකර්මණ්‍ය නොවුණේ නම් මේ වන විට කම්කරුවන්ගේ ජීවිතය ඉහළ ගෙන යෑමට හැකි වන බව ද කීය.
අම්බලන්ගොඩ නගරයේ ඉදි කරන ලද සිව් මහල් කම්කරු කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව හමුවේ ඇමැතිවරයා එසේ කීය.
කම්කරු විනිශ්චය සභා මගින් කම්කරු ගැටලු විසඳීමේදී නීතිඥ ගාස්තු වශයෙන් විශාල මුදලක් වැය වන බවත් ඒ නිසා කම්කරුවන් වෙනුවෙන් ඔහුගේ මිතුරකු වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයකුට පෙනී සිටීමේ අවස්ථාව දෙන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා එහිදී මෙසේද කීය.
“වතුකරයේ වැඩ කරන කම්කරු ජනතාවට දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්න අප කටයුතු කළා. කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව කම්කරු ගැටලු විසඳීමට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ නිසා කම්කරු උසාවිවලට අධිකරණ බලයක් දීමටත් කටයුතු කරගෙන යනවා. ඉන්පසු කම්කරු ගැටලු කඩිනමින් විසඳීමට අවස්ථාව ලැබේවි. කම්කරුවකුට අනතුරක් වුණොත් දැනට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ හමාරේ සිට රුපියල් ලක්ෂ විසිපහ දක්වා වැඩි කිරීමටත් අපි කඩිනමින් කටයුතු කරනවා.
කොවිඩ් ගැටලුව නිසා අපි පසුබෑමට ලක්වූ බව කිව යුතුයි.රජයේ කාර්යාලවල සිටින සේවක මණ්ඩලය එකවර කැඳවීමට අපට නොහැකි වුණා. ලබන 21 වැනිදායින් පසු මේ ක්‍රමය වෙනස් කිරීමට හැකිවේවියැයි මා විශ්වාස කරනවා. එවිට නව ජවයකින් ඉදිරියට යන්න අපට හැකි වේවි. ඒ සඳහා රටේ සියලුම දෙනාගේ සහාය අපේක්ෂා කරනවා.
මේ රටේ දැනට පවතින මැතිවරණ ක්‍රමය ගැන කතා කළ ඇමැතිවරයා අපේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති තීරණය කර තිබෙනවා. මනාප ක්‍රමය වෙනස් කර කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීමට හැකි වන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. 1970 ගණනවල පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් අපේ පක්ෂයට වැඩි ආසන ගණනක් ලැබුණත් ඒ ජයග්‍රහණය උදුරා ගැනීමට එජාපය කටයුතු කළා.”
අම්බලන්ගොඩ සමූහ – ආර්.ඤානදාස