නේපාලය මුල්වරට අවසන් සටනට
දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් සටනට නේපාලය සුදුසුකම් ලබයි. ඊයේ පැවැති බංග්ලාදේශය සමඟ තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා කිරීම හේතුවෙන් නේපාලයට මේ අවස්ථාව උදා විය. මෙතෙක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ කිසිදු අවස්ථාවක නේපාලය අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා නැති අතර, ඔවුන්ගේ හොඳම දක්ෂතාව වූයේ 1995 හා 1999 යන වසරවල තෙවැනි ස්ථානය දිනා ගැනීම වේ. එබැවින් මෙවර දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය නේපාල පාපන්දු ඉතිහාසයට නැවුම් අත්දැකීමක් වී තිබේ.
තරගයේ පළමු භාගයේදී බංග්ලාදේශය ගෝල් 1-0ක් ලෙස පෙරමුණ ගෙන තිබූ අතර, සුමොන් රාසා 9 වැනි මිනිත්තුවේදී එම ගෝලය එක් කළේය. තරගයේ 88 වැනි මිනිත්තුවේදී බංග්ලාදේශ ක්‍රීඩකයකුගේ නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් නේපාලයට දඬුවම් පහරක් පිරිනැමුණු අතර, එය සාර්ථක කර ගැනීමට අන්ජන් බිස්ටා සමත් වීමෙන් තරගය සම තත්ත්වයකට පත් විය.
මේ තත්ත්වය මත බංග්ලාදේශය ලකුණු සටහනේ සිවුවැනි තැනට පත් වී අවසන් තරගයේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදු විය. පුවත්පත මුද්‍රණයට යද්දී මාලදිවයින හා ඉන්දියාව අතර, තරගය පැවැත්වෙමින් තිබු අතර එයින් ජය ගන්නා කණ්ඩායම නේපාලය සමඟ මේ 16 දා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත. එම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ නම් මාලදිවයිනට ඉදිරියට පැමිණීමේ අවස්ථා උදා වේ.
ප්‍රින්ස් ගුණසේකර