25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිව්ස් යළි වැඩ

මැතිව්ස් යළි වැඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් මාස කිහිපයක විරාමයකින් පසු යළි ක්‍රිකට් පිටියට එක් වීමට තීරණය කර තිබේ. තමා ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට සූදානම් බවත්, ඒ සඳහා සලකා බලන ලෙසත් මැතිව්ස් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තහවුරු කළේය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි අන්තර්ජාතික තරග සංචාර කෙරෙහි අවධානය යොමු කරමින් මැතිව්ස් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුවීම් සඳහා එක් වනු ඇත.

යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කිරීමත් සමඟ ඔහු මේ මස 27 වැනිදා ආරම්භ වන දේශීය තරග වාරයේදී කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

එමෙන්ම නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සහ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසු වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ වත්මන් ක්‍රීඩකයන් අතරින් අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වන 34 හැවිරිදි මැතිව්ස් ටෙස්ට් තරග 90කට, එක්දින තරග 218කට සහ විස්සයි20 තරග 78කට ක්‍රීඩා කර තිබේ. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කළේ පසුගිය මැයි මාසයේ සංචාරක බංග්ලාදේශ පිල සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයේදීය.

මේ වසරේ මුල් භාගයේදී ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදු කිරීමේ අර්බුදයට ද මැදි වී සිටි මැතිව්ස් අනතුරුව තේරීම් සඳහා ඉදිරිපත් නොවූ අතර, විවිධ මත ගැටුම් අතරතුර ජාතික කණ්ඩායමේ වගකීම්වලින් නිදහස් කරන ලෙස මීට මාස කිහිපයකට පෙර ඔහු ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි.

ඔහු ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි ගත වූ කාලපරිච්ඡේදය පුරා කතාබහට ලක් වී සිටියේය.

ෆවුස් මොහොමඩ්