50කට වැඩි පිරිසක් නින්දෙන්ම මරු තුරුලට
තායිවානයේ යැංචෙන් දිස්ත්‍රික්කයේ ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. තවත් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. එරට වේලාවෙන් ඊයේ අලුයම 3.00ට පමණ මේ ගින්න හටගෙන ඇති බවත්, තට්ටු 13කින් සමන්විත ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගින්නට හසු වී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
ව්‍යාපාර කටයුතු සහ නිවාස සංකීර්ණයක් ලෙස පවත්වාගෙන ගිය එම ගොඩනැගිල්ලේ පවුල් සියයකට වැඩි ප්‍රමාණයක් පදිංචිව සිටි අතර, ඉන් වැඩි දෙනකු ආබාධිත තත්ත්වයෙහි පසුවන වැඩිහිටි පුද්ගලයන් බවත් වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් 160ක් පමණ රාජකාරියේ නිරතව සිටී.
අවුරුදු 8ත්, 83ත් අතර පසුවන පදිංචිකරුවන් 62ක් පමණ බේරා ගැනීමට ගිනි නිවන භටයන් සමත් වී ඇති අතර, තුවාල ලබා සිටි පිරිස වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ගොඩනැගිල්ල තුළ සිර වූ තවත් පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ගින්න පැතිරී යෑම නිසා එම ගොඩනැගිල්ලේ 7 වැනි මහලේ සහ 11 වැනි මහලේ සිටින නිවැසියන් බේරා ගැනීම දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.
අතිශයින්ම දරුණු අන්දමින් ගින්න පැතිරීයෑම හේතුවෙන් ගොඩනැගිල්ලේ මහල් කිහිපයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, වසර 40ක් පැරැණි ගොඩනැගිල්ලේ විදුලි සැපයුම් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගින්න පැතිරෙන්නට ඇතැයි සැක කෙරේ.