ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීමේ ‘අපේ කොල්ලෝ’ ගීතය පසුගියදා එළි දැක්වීය.
මෙරට ජනප්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධුවී සහ ආරාධිත ශිල්පියකු වන රෝයි ජැක්සන් මේ ගීතය වෙනුවෙන් ගායනයෙන් දායක වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ශ්‍රී ලාංකියන්ගේ සුභාශිංසන පිරිනැමෙන සේ ඔවුනට සහයෝගය දක්වනු පිණිස නිර්මාණය වූ මේ ගීතයේ පද රචනය කරන ලැබුවේ Triad විසිනි.
මේ මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ ගමන් මඟ 18 වැනිදා නැමීබියාව සමග තරගයෙන් ඇරඹේ. අනතුරුව 20 වැනිදා අයර්ලන්තය සමඟ ද, 22 වැනිදා නෙදර්ලන්තය සමඟ ද ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය යටතේ තරග වැදීමට නියමිතය.
‘විස්සයි20 ලෝක කුසලාන ගීතය යථාර්ථයක් කිරීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා සමාගමට මාගේ ස්තුතිය පිරිනමනවා. මේ ප්‍රසංශාව ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ගේත් ජයග්‍රාහී මානසිකත්වය ඉහළ නංවන්නක්. පසුගිය මාස කිහිපයේදී කණ්ඩායම ක්‍රීඩාකළ තරගාවලි සහ පුහුණු තරග නිසා එක්සත් ලෝක කුසලාන තරගාවලියට හොඳම සංයුතිය සකසාගැනීමට අපට හැකිවුණා’ මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා එසේ පැවැසීය.
‘ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන්, මේ ලෝක කුසලානය අභිමුව ජාතික කණ්ඩායම වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයකුගෙම සුබපැතුම් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීමට ලැබීම ඩයලොග් ආයතනයට සතුටක්. මම ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරනවා’ ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර මහත්මිය මෙහිදී සඳහන් කළාය.