අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 7 වැනි වරට පවත්වන විස්සයි20 ක්‍රිකට් තරග බිමේ ලෝක සැණකෙළිය හෙවත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (17) ආරම්භ වෙයි.
කණ්ඩායම් 16ක් එක්වන මේ තරගාවලියේදී හෙට සිට මේ 22 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වෙන්නේ කණ්ඩායම් 8ක එකතුවෙනි. එම තරගාවලියෙන් කණ්ඩායම් 4ක් සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වන අතර, සෙසු කණ්ඩායම් 4ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වෙන පළමු වටයේ කණ්ඩායම් 8 ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකින් තරග වදින අතර, ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබනු ඇත. මේ වන විටත් කණ්ඩායම් 8ක් සුපිරි 12 වටයේ ස්ථාන වෙන් කර ගෙන තිබේ.
2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට අයිසීසී විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසු වූ කණ්ඩායම් 10 ලෝක කුසලාන වරම් ලැබූ අතර, මෙවර තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාව සමඟ මුල් කණ්ඩායම් 8 ඍජුවම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීය. ඒ අතරට පසුගියවර ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් සමඟින් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය එක්ව සිටී.
ශ්‍රේණිගත කිරීම් සලකා බැලූ දිනය වන විට බංග්ලාදේශය (9) සහ ශ්‍රී ලංකාව (10) මුල් ස්ථාන 8 අතර, නොසිටි බැවින් ඍජුව සුපිරි 12ට එක් වීමට නොහැකි වූ අතර, සුදුසුකම් ලැබීමේ (පළමු වටය) වටයෙන් තරග කිරීමට සිදු විය. 2019 වසරේ එක්සත් අරාබි එමීර්හිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව නෙදර්ලන්තය, අනුශූරතාව පැපුවා නිව්ගිනියාව සමඟ තෙවැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් හිමි කර ගත් අයර්ලන්තය, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයට එක් වීමේ වරම් ලැබූ සෙසු කණ්ඩායම් 6යි.
පළමු වටයේදී ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර, බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය තරග බිමට පිවිසෙන්නේ ‘බී’ කාණ්ඩයෙනි. එහිදී ‘ඒ’ කාණ්ඩයේ තරග අබුඩාබියේදීත්, ‘බී’ කාණ්ඩයේ තරග ඕමානයේදීත් පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් හෙට (17) ඕමානය සහ පැපුවා නිව්ගිනියාව පළමු තරගයට එක් වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3.30ටය. එදිනම රාත්‍රී 7.30ට බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයේ තරග ආරම්භ කරමින් අයර්ලන්තය සහ නෙදර්ලන්තය 18 වැනිදා පස්වරු තරගයට එක් වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එක් වන පළමු තරගය එදින රාත්‍රී 7.30ට නැමීබියාවට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා පිල 20 දා අයර්ලන්තයට එරෙහිව සහ 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව තරග කරන අතර, එම තරග ද රාත්‍රී 7.30ට ආරම්භ වනු ඇත.
මේ පළමු වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානය සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට එක් වන අතර, ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි වන කණ්ඩායම් දෙක 2 වැනි කාණ්ඩයට එක් වනු ඇත. සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරග වදින අතර, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය තරග වදින්නේ දෙවැනි කාණ්ඩයෙනි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ත්‍යාග ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 5.6ක මුදල වෙන් කර තිබේ.
ඒ අතුරින් පළමු වටයට සඳහා පිරිනැමෙන මුදල අ. ඩො. 640,000කි. එහිදී පළමු වටයේ සෑම තරගයකම ජයග්‍රහණය සඳහා ඩොලර් 40,000 බැගින් හිමි වන අතර, එම වටයෙන් ඉවත් වන කණ්ඩායම් 4 සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.
මෙවර තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ අතර, එරට පැවැති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවටම හිමි විය. මේ තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.
ඩීආර්එස් එයි
මෙවර තරගාවලිය සඳහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) භාවිත කිරීමට අයිසීසීය කටයුතු කළේය. ඒ අනුව තරගයක එක් ඉනිමක් සඳහා කණ්ඩායමකට ඩීආර්එස් අවස්ථා දෙකක් හිමි වේ.
මෙලෙස ඩීආර්එස් ක්‍රමවේදය විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා යොදා ගන්නා පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක් වේ.
ඉනිම මැද විවේකයක්
තරගාවලිය පැවැත්වෙන අරාබියේ පවතින දේශගුණික තත්ත්වය හේතුවෙන් තරගයක සෑම ඉනිමකම මැද දී (10 වැනි ඕවරය නිමා වීමෙන් පසු) සිසිල් පැන් පානය සඳහා මිනිත්තු 2.30ක නිල කාලයක් දීමට අයිසීසීය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවෙන් නව ඇඳුම් දෙකක්
මේ අතර, මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නිල ඇඳුම් දෙකක් භාවිත කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව නිල් පැහැයෙන් යුත් ජර්සියක් සහ කහ පැහැය මිශ්‍ර ජර්සියකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් අනුග්‍රාහකයා වන මාස් හෝල්ඩිංග්ස් සමාගම මේ නිල ඇඳුම් දෙක නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහායෙනි. නාවික හමුදාව වෙරළ තීරයෙන් ගත් ප්ලාස්ටික් මුහුදු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සකසා තිබේ.