සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු යොවුන් එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශය වත්මන් යොවුන් ලෝක ශූරයන් මෙන්ම ආසියානු අනුශූරයන් වීම ද විශේෂත්වයකි.
මේ සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් දැවී ලකුණු 228ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 46.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 186ක් පමණි.
බංග්ලාදේශ පිළිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරු යුගල මුළු ලකුණු 31දී පිටියෙන් ඉවත් කිරීමට නායක දුනිත් වෙල්ලාගේ සහ ට්‍රෙවීන් මැතිව් සමත් වූ අතර, තවත් ලකුණු 4ක් එක් වෙද්දී පිතිකරුවන් දෙදෙනකු ලකුණු රැස් කිරීමට පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ෂෙවෝන් ඩැනියෙල්ට හැකි විය.
අනතුරුව පිටියට පිවිසි අයිච් මොල්ලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ප්‍රබල උත්සාහයක නිතර වුවද සහායට පිතිකරුවකු නොමැති වීමෙන් බංග්ලාදේශයට පරාජය අත් විය.
අයිච් 5 වැනි කඩුල්ලට අරිෆුල් ඉස්ලාම් සමඟින් ලකුණු 70ක සබඳතාවක් පිහිටුවූ අතර, ලකුණු 38ක් රැස් කර සිටි අරිෆුල් දුවද්දී දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. ඉනිමට තවත් ලකුණු 52ක් එක් වෙද්දී කඩුලු 4ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත් වුව ද අයිච් සමඟ එක් වූ අවසන් පිතිකරු අශිකර් සමාන් ශ්‍රී ලංකා ජය පමා කළේ අවසන් කඩුල්ලට ලකුණු 22ක සබඳතාවක් ගොඩනඟමිනි.
පන්දු යැවූ මතීෂ පතිරණට උඩ පන්දුවක් දෙමින් අයිච් දැවී යෑමත් සමඟ මුළු ලකුණු 186කදී බංග්ලාදේශ ඉනිම නිමාවට පත් විය. පන්දු 93කට මුහුණ දුන් අයිච් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 86ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ට්‍රෙවීන් මැතිව් කඩුලු 4ක් බිඳ දැමූ අතර, ෂෙවෝන් ඩැනියෙල් කඩුලු 2ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 32ක් තුළ බිඳ දමමින් තරගයේ පාලනය අතට ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවද මංගල යොවුන් එක්දින තරග වරම් සමඟින් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි පවන් පතිරාජ අර්ධ ශතක සබඳතා දෙකක් සමඟින් ඉනිම ගොඩනැඟීමට සමත් විය.
සදීෂ රාජපක්ෂ සමඟ සිවුවැනි කඩුල්ලට ලකුණු 53ක් එක් කළ පවන්, 5 වැනි කඩුල්ලට රවීන් ද සිල්වා සමඟින් ලකුණු 80ක් එක් කළේ පන්දු 89කිනි. සදීෂ ලකුණු 28ක් සහ රවීන් ලකුණු 29ක් රැස් කළ අතර, මුළු ලකුණු 176දී පවන් 6 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ලකුණු 67ක් රැස් කර තිබිණි. පන්දු 88කින් ගොඩනැඟුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය. යසිරු රොද්‍රිගෝ ඉනිම අග භාගයේ පන්දු 15කින් වේගවත් ලකුණු 25ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 228 සීමාවට ගෙන යෑමට සමත් විය.
පන්දු යැවීමේදී රිපන් මොන්ඩෝල් ලකුණු 59කට කඩුලු 3ක් සහ අශිකර් සමාන් ලකුණු 43කට කඩුලු 2ක් බිඳ දැම්මේය.
දෙපිල අතර, දෙවැනි එක්දින තරගය 18 දා පැවැත්වේ.