29.5 C
Colombo
Tuesday, June 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමුදල් සොරකම් කොට ඔස්ලෝ නුවරින් පැන්න මල්ලවපොර කළමනාකරු අල්ලන්න ඉන්ටර්පෝල් සහාය

මුදල් සොරකම් කොට ඔස්ලෝ නුවරින් පැන්න මල්ලවපොර කළමනාකරු අල්ලන්න ඉන්ටර්පෝල් සහාය

බස් රථයක නැඟී ස්විට්සර්ලන්තයට ගිය බවට තොරතුරක්

මල්ලවපොර ලෝක ශූරතාවලියට සහභාගි වීම උදෙසා ඔස්ලෝ නුවරට ගොස් ක්‍රීඩකයන් සතු මුදල් සොරකම් කොට අතුරුදහන් වූ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ උප සභාපති හා කණ්ඩායමේ කළමණාකරු ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා නෝර්වේ සිට බස් රථයකින් ස්විට්සර්ලන්තය වෙත පැනගොස් ඇතැයි තොරතුරු වාර්තා වෙයි. ලෝක ශූරතාවලියට ගිය මල්ලවපොර කණ්ඩායමේ නායක ලක්මාල් විජේසූරිය හා පුහුණුකරු සජිත් ප්‍රනාන්දු මහතා මේ බව තමා වෙත දැනුම් දුන් බවත් එම තොරතුරු ඉදිරියේදී අදාළ පරික්ෂණ සඳහා යොමු කරන බවත් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ‘දිනමිණ’ ට පැවසීය.

ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා නෝර්වේ සිට බස් රථයකින් ස්විට්සර්ලන්තය වෙත යන ආකාරය නවාතැන්ගෙන සිටි හෝටලය අසල ආපන ශාලාවක සේවකයකු මල්ලවපොර කණ්ඩායමේ නායකයාට හා පුහුණුකරුට පවසා ඇතැයි ඒ මහතා පැවසීය. ඔස්ලෝ නුවර සිට අධි සුඛෝපභෝගී බස්රථ ඩෙන්මාර්කය, හැම්බර්ග් හා ජර්මනිය හරහා ස්විට්සර්ලන්තය වෙත ධාවනය වන අතර, එම බස් රථයක ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා ගමන් ගත් බව පවසා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා සිද්ධිය වූ දිනට පසු දිනම නෝර්වේ පොලීසියට ද ලිඛිත පැමිණිල්ලක් යොමු කොට ඇත. එම පොලීසිය නවීණ තාක්ෂණය ද උපයෝගී කොට පැනගිය කළමනාකරු සොයා ඇතැත් කිසිදු හෝඩුවාවක් හමු නොවූ බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයට දැනුම්දී ඇත. මේ හේතුව නිසා ඔස්ලෝ නුවරින් වෙනත් රටකට පැන යන්නට ඇතැයි යන සැකය සාධාරණ බව සභාපතිවරයා පැවසීය. කෙසේ වුවද අන්තර්ජාතික සහයෝගය ගෙන පැනගිය කළමනාකරු සොයා ගෙන දඬුවම් පැනවිය යුතු බව ඒ මහතා පැවසීය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට ඇත. ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් අජන්ත රත්නායක මහතාගෙන්, ඔස්ලෝ නුවර සංචාරයට එක් වූ ක්‍රීඩකයන් 5කගෙන් හා පුහුණුකරුගෙන් මේ වන විටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ ඒකකය සාක්ෂි සටහන් කොට ඇත. එමෙන්ම අන්තර්ජාතික මල්ලවපොර සම්මේලනයට හා නෝර්වේ මල්ලවපොර සම්මේලනයට මේ බව දැනුම්දීමට කටයුතු කර ඇත.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අධිකරණයට කරුණු දන්වා අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානය වන ඉන්ටර්පෝල් වෙත දැනුම් දෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ අමල් එදිරිසූරිය මහතා පැවසීය. පොලිස් තොරතුරු සඳහා ලොව පුරා විහිදුන එම ජාලය මඟින් පැනගිය කළමනාකරු අත්අඩංගුවට ගනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

පසුගිය 2 වැනිදා සිට 10 වැනිදා දක්වා ඔස්ලෝ නුවර පැවැති ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීම සඳහා කණ්ඩායම පිටත්ව ගිය අතර, ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර දින කණ්ඩායමේ කළමණාකරු ඔස්ලෝ නුවරින් අතුරුදහන් විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් විදේශගතවීමේදී රුපියල් ලක්ෂ 10ක ඇප බැඳුම්කරයක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වන බැවින් එම ඇප බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමකින් තොරව 2019 වසරේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් මේ ලෝක ශූරතාවලියට පිටත් කර යැවීම පිළිබඳ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා උසස් දක්ෂතා කමිටුව එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඒ සඳහා අවස්ථාව නොදීමට තීරණය කර තිබූ අතර, මේ තරගාවලියට සහභාගිවීමට පමණක් අවස්ථාව දෙන ලෙස මල්ලවපොර සම්මේලනය කළ ඉල්ලීමක් සලකා පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමි විය.

තරගාවලියට ඉදිරිපත් වීමට පමණක් ක්‍රීඩකයන් වෙනුවෙන් දුන් මේ අවස්ථාව අනිසි ලෙස භාවිත කර තම පෞද්ගලික අරමුණ ඉටු කර ගැනීම හේතුවෙන් අන්තර්ජාතික තලයේ රටේ කීර්ති නාමය හා ක්‍රීඩාවේ අභිමානය හෑල්ලුවට ලක් කර ඇතැයි මල්ලවපොර සම්මේලනයේ උප සභාපති හා කණ්ඩායමේ කළමණාකරුට එල්ල වී ඇති බරපතළ චෝදනාවකි.

 

ප්‍රින්ස් ගුණසේකර