අපට ලොකු ගමනක් යා හැකියි
නායක දසුන් ශානක
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සටන ආරම්භ කරයි.
මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට ඍජුවම එක් වීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා සුදුසුකම් ලැබීමට පළමු වටයෙන් තරග කිරීමට සිදු විය. එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, තරගයේ වැඩි පීඩනයක් නැමීබියාව දෙසට යොමු තිබේ.
මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව නැමීබියාවට වඩා අන්තර්ජාතික පිටියේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් රැසක් සිටින අතර, ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසු වන වනිඳු හසරංග ද සිටී. නැමීබියාව ශ්‍රේණිගත කිරීම්වල පසු වන්නේ 19 වැනි ස්ථානයේයි. කෙසේ වෙතත් නැමීබියාව ද මෑත කාලයේ විස්සයි20 පිටිය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇති අතර, සුපිරි 12 අතරට එක් වීමත්, ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමත් ඔවුන්ගේ අරමුණ වී තිබේ.
අයර්ලන්තය සහ නෙදර්ලන්තය ද මේ කාණ්ඩය නියෝජනය කරන අතර, සුපිරි 12 අතරට එක් වීමට වරම් ලැබෙන්නේ ඉන් කණ්ඩායම් දෙකකට පමණි. එහිදී එක් කණ්ඩායමක් තරග 3ක් ක්‍රීඩා කළ යුතු අතර, අවම වශයෙන් ඉන් තරග දෙකක් ජය ගැනීමට සිදු වෙයි.
මේ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ තම කණ්ඩයාමට 2014 විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන් සමාන හැකියාවක් තිබෙන බවත්, ක්‍රීඩකයන් තමන්ගේ වගකීම් නිවැරදිව ඉටු කළ හොත් මේ තරගාවලියේ බොහෝ දුරක් යෑමට හැකි වන බවත්ය.
“2014 ශූරතාව දිනා ගත් කණ්ඩායමට ලොකු වර්ගීකරණයක් සහ ගැඹුරක් තිබුණා. අපේ කණ්ඩායමටත් ඒ හා සමාන හැකියාවක් තිබෙන බව මට දැනෙනවා. එකම වෙනස වන්නේ පළපුරුද්දයි. ඒත් මේ ක්‍රීඩකයන් තම තමන්ගේ ශක්තීන් අනුව දක්ෂතා දැක්වුවහොත් මේ තරගාවලියේදී අපට බොහෝ දුර යන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සිටින අපේ ක්‍රීඩාලෝලීන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කාලයක් බලා සිටිනවා. ඔවුන් ආඩම්බරයට පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.” ශානක පැවසීය.
මෑත කාලයේ හොඳ දස්කම් දැක්වීමට නොහැකි වුවත්, මේ කණ්ඩායම ඉතා ශක්තිමත් බවත්, අයිපීඑල් තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් දෙදෙනකු මෙන්ම මුල් පෙළේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකු ද කණ්ඩායම සතු බවත් ඔහු කීය.
පසුගිය පුහුණු තරග කිහිපයේදී ශ්‍රී ලංකා පිල පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කරමින් ක්‍රීඩා කළ අතර, මේ වන විට පිතිකරණ අනුපිළිවෙළ ස්ථාවර වී ඇතැයි පවසන ශානක කණ්ඩායම දැන් හොඳ සමබරතාවයකින් පසුවන බවත් පවසයි.
ශ්‍රී ලංකා පිල පසුගිය තරග කිහිපයේදී ඉනිම ආරම්භ කිරීමට ක්‍රීඩකයන් රැසක් යොදාගත් අතර, මේ තරගාවලියේදී කුසල් ජනිත් සමඟින් පැතුම් නිශ්ශංක ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් තිබේ. අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයෙන් සාර්ථක වූ බැවින් ඔහු එම ස්ථානයේම ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇත.
මේ තරගාවලියේදී පැතුම් හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කරන ශානක ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප්ට තරගාවලිය අහිමි වීමෙන් කණ්ඩායමට බලපෑමක් වුවත් දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර එම අඩුව පුරවනු ඇති බවත් පවසයි. වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ ගැන අදහස් දැක්වූ ශානක උපදේශකයකු ලෙස හිටපු නායක මහේල ජයවර්ධනගෙන් කණ්ඩායමට ලැබෙන සහයෝගය ද අගය කළේය.
නිරෝෂාන් ප්‍රියංකර