හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක
විදේශ විනිමය සංචිත පහත වැටී රට ආර්ථික අතින් පහතට ඇද වැටුණේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවර එජාප කාර්යාලයේදී පසුගියදා පැවති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“පවතින ආර්ථික අර්බුදය තුළ විදේශ විනිමය හිඟ වීම එක් කාරණයක් පමණයි. නිවැරදි ආර්ථික කළමනාකරණයක් තිබුණේ නම් එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවස්ථාව ආණ්ඩුවට තිබූණා. වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ද කඩා වැටීමට ලක්ව තිබියදී දේශපාලන වශයෙන් තරග පවත්වනු වෙනුවට පවතින අර්බුදවලින් ගොඩ ඒමට සියලු පක්ෂ එකතු වී වැඩ කළ යුතුයි. මේ රජය කරන වැඩ සම්බන්ධව ඇත්තටම අපට ස්ථිරව යමක් කියන්න අමාරුයි. අද තියෙන තත්ත්වය නොවේ හෙට තිබෙන්නේ. අද තියෙන ගැසට් එකට සම්පූර්ණයෙන්ම පරස්පර ගැසට් එකක් හෙට ගහනවා. ඊළඟ දවසේ ඒ ඔක්කොම ඉවත් කර වෙනස්ම දෙයක් කරනවා.
හැම විනාඩියකදීම ඇහැ ගහගෙන හිටියේ නැත්නම් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. අද තිබෙන බඩු මිල නෙවෙයි හෙට තිබෙන්නේ. බඩු මිල වැඩි වෙන්නේ 1%කින් හෝ 2%කින් නොවේ. සියයට සීයයකින් බඩු මිල වැඩි වන අවස්ථාත් දකින්න ලැබෙනවා. මේක විදේශ විනිමය නැති වීම නිසාම ඇති වූ ප්‍රශ්නයක් නොවෙයි. ආර්ථිකය කළමනාකරණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. විදේශ විනිමය නොමැති වීම එක ප්‍රශ්නයක් විතරයි. රටකට ආදායමක් එන්නේ නැත්නම් අපි කොහොමද රටට අවශ්‍ය ආනයන ගන්නේ.”
අසේල කුරුළුවංශ