30.6 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාව අද අයර්ලන්තය සමඟ සටනේ

ශ්‍රී ලංකාව අද අයර්ලන්තය සමඟ සටනේ

විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලබන රටවල් 4ක් තෝරා ගන්නා පළමු වටයේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වේ.

පෙරේදා නැමීබියාව කඩුලු 7කින් පරාජය කරමින් ‘ඒ‘ කාණ්ඩයේ පළමු ස්ථානය ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාවට අද තරගයත්, 22 දා පැවැත්වෙන නෙදර්ලන්තයට එරෙහි තරගයත් දෙකම තීරණාත්මකය.

23 වැනිදා ආරම්භ වන සුපිරි වටයට දැනටමත් කණ්ඩායම් 8ක් එක්වී සිටින අතර, පළමු වටයේ ‘ඒ‘ කාණ්ඩයෙන් සහ ‘බී‘ කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 බැගින් සුපිරි වටයට එක් වනු ඇත.

අයර්ලන්තය සමඟ මීට පෙර 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එක් තරගයකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල එම තරගය ජයග්‍රහණය කළේය. එහෙත් මේ වනවිට අයර්ලන්ත පිල දස්කම් සපිරි ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් අඩු තක්සේරුවට ලක් කළ නොහැකිය.

විශේෂයෙන් පෙරේදා නෙදර්ලන්තය පරාජය කරමින් සිය ජයග්‍රාහී ගමන් මඟ ආරම්භ කළ අයර්ලන්තය අද තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

මෙවර විස්සයි20 තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ කාලයේ රාත්‍රියේදී දැඩි පින්නක් පවතින බැවින් කාසියේ වාසිය වඩාත් වැදගත් වනු ඇතැයි පෙරේදා තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලේ මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ කීවේය.

පින්න හේතුවෙන් දෙවනුව පන්දු යැවීම දුෂ්කර බව කී භානුක, පෙරේදා තරගයේ කාසියේ වාසිය දිනා තිබියදිත් පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේ එනිසා බව සඳහන් කළේය.

ඉදිරි තරගවල ප්‍රතිඵල සඳහාත් පින්න ලොකු සාධකයක් විය හැකි බව ඔහුගේ විශ්වාසය වී තිබේ.

‘ඒත් අපිට නිතරම කාසියේ වාසිය මත විශ්වාසය තියන්න බෑ. ඒ නිසා අපි පුහුණුවීම්වලදි තෙත පන්දුවෙන් පුහුණු විය යුතුයි. අපේ පන්දු යවන්නන් ඒ අභියෝගයට ලෑස්තියි.‘ ඔහු කීවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම අතරතුර පළමු කඩුලු 3ම ලකුණු 26ක් ඇතුළත බිඳ වැටිණි. තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ අංක 4 ස්ථානයෙන් අතිසාර්ථක අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂය. භානුක නොදැවී ලකුණු 42ක් රැස් කළේ පන්දු 27කිනි.