28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙන්යාවෙන් දුර දුවන්න තල්ලුවක්

කෙන්යාවෙන් දුර දුවන්න තල්ලුවක්

මේ වසර අවසානයේ ආරම්භවන අන්තර්ජාතික පුහුණු වැඩ පිළිවෙළක් අනුව ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් කෙන්යාව බලා පිටත් කිරීමට ක්‍රිඩා අමාත්‍යාංශය සුදානම් වෙයි. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා හා කෙන්යානු ක්‍රීඩා ඇමැති ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය අතර, පසුගියදා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ අවස්ථාව ලැබී ඇත.

කෙන්යාව ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මැදි දුර සහ දිගු දුර ධාවන ඉසව්වල ඉදිරියෙන්ම සිටින රටවන අතර, පසුගියදා නිමා වූ ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී පිරිමි මිටර් 800 රන් හා රිදී පදක්කම් දෙකම, පිරිමි මීටර් 1500 රිදී පදක්කම, පිරිමි මීටර් 3000 බාධක දිවිම ඉසව්වේ ලෝකඩ පදක්කම හා පිරිමි මැරතන් රන් පදක්කම කෙන්යා නාමය ඉදිරියේ සටහන් විය. ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 1500 රන් පදක්කම, කාන්තා මීටර් 5000 රිදී පදක්කම කාන්තා මීටර් 3000 ලෝකඩ පදක්කම, කාන්තා මැරතන් රන් හා රිදී පදක්කම් දෙකම කෙන්යාවට රැගෙන ගියහ.

ක්‍රීඩා අමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී කෙන්යානු ක්‍රීඩා ඇමැතිවරිය මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා තවදුරටත් ඉහළ නැංවීම උදෙසා සහාය පළ කිරීමට කැමැත්ත පළ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා සම්පත් හා ප්‍රවීණයන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එකඟත්වය පළ විය.

මේ මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව මධ්‍ය කාලීන සහ දිගුකාලීන පුහුණුවීම් වනු ඇති බවත් එය අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ ළඟා කර ගැනීමට මහගු අවස්ථාවක් වනු ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව හා කෙන්යානු ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ඇමැතිවරයා එක් විය.

ප්‍රින්ස් ගුණසේකර