ගුරු – විදුහල්පතිවරුන් විසින් කර ගෙන ගිය සාධාරණ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සහභාගි වූවන් සොයා ආණ්ඩුව ඔවුන්ව මර්දනය කිරීමට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කිරීම දෙමළ ජාතික සන්ධානය තරයේම හෙළා දකින බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා 19 දා යාපනයේදී පැවසීය.
යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මර්දනය කිරීමට වෙනත් බාහිර පුද්ගලයන් යොදවා සිටීම තම පක්ෂය කිසිසේත්ම අනුමත නොකරණ තත්ත්ත්වයක් බවද කියා සිටියේය.
”ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔවුන්ගේ අරගලය දියත් කළේ ඔවුන්ට වසර විසි හතරක් පමණ කාලයක් තිස්සේ සිදුව තිබූ වැටුප් වැඩි වීමක් ලබා ගැනීමේ චේතනාව මතයි. ඔවුන් කිසිම ආකාරයක ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක නිරත නොවී ඉතා සාධාරණ ලෙස ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අනුගමනය කළා.
ඔවුන් මේ වන විට පාසල්වල යළි ඉගැන්වීමේ කටයුතුවල නිරත වීමට එකඟතාව පළ කොට සිටියදී ඔවුන්ව මර්දනය කිරීමටත් ඔවුන්ව පාලනය කිරීමටත් ඔවුන්ට විවිධ දඬුවම් දීමටත් බොහෝ පිරිසක් කටයුතු කරමින් සිටිනවා.
ආණ්ඩුවේ අවශ්‍යතාව මත වන මේ ක්‍රියාව වහාම නතර කිරීමට පියවර ගත යුතු වෙනවා.
එසේම ගුරුවරුන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව ඔවුන්ව මර්දනයකට ලක් කිරීමට කටයුතු කිරීම අපි තරයේම හෙළා දකිනවා ”
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ