28 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ වේලාසනින්ම තරගාවලිය දිනති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ වේලාසනින්ම තරගාවලිය දිනති

ෂෙවෝන් ඩැනියෙල්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩයාම සමඟ ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ ජය සමඟ තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය තරග 2ක් ඉතිරිව තිබියදීම 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 184කට සීමා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 46.4කදී එම ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී තිබියදීය.

මුළු ලකුණු 2දී පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි ෂෙවෝන් ඉනිම අවසන් වන තෙක් කඩුල්ල රැක ගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියේ නොදැවී ලකුණු 85ක් රැස් කරමිනි. පවන් පතිරාජ සමඟින් තෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කරමින් සිටියදී පවන් දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 89ක් විය.

මේ තරගාවලියේ පිට පිට අර්ධ ශතක දෙකක් රැස් කර සිටි පවන්ට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 31ක් පමණි. පවන් දැවී යෑමත් සමඟ ලකුණු 33ක් තුළ තවත් කඩුලු 4ක් බිඳ දමමින් ජයග්‍රහණ තම පිල දෙසට හරවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුවත් ෂෙවෝන්ට අනගි සහායක් දුන් වනුජ සහන් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.

ඔවුන් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ලට පන්දු 83කදී ගොඩනැඟූ සබඳතාව ලකුණු 66කි. ෂෙවෝන් පන්දු 117කදී හතරේ පහර 7කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් අතර, සහන් නොදැවී ලකුණු 38ක් රැස් කළේ පන්දු 53කදී හතරේ පහර 2ක් සමඟිනි. පන්දු යැවීමේදී මුෂ්ෆික් හසන් කඩුලු 3ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 7 ලකුණු 71ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර, 8 වැනි කඩුල්ලට පිටියට පිවිසි අශිකුර් සමන් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ලකුණු පුවරුව 184 දක්වා ඉහළට රැගෙන ගියේය.

පන්දු 73කදී හතරේ පහර 7ක් එල්ල කළ ඔහු 8 වැනි කඩුල්ලට අසාන් හබීබ් (33) සමඟ ලකුණු 36ක් සහ 9 වැනි කඩුල්ලට නයිමුර් රෙහ්මාන් (27) සමඟින් ලකුණු 71ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.

පන්දු යැවීමේදී විනුජ රන්පුල් සහ රවීන් ද සිල්වා කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, වනුජ සහන් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 5ක් සිදු කරමින් නවක ක්‍රීඩකයන් 5 දෙනකුට යොවුන් එක්දින තරග වරම් හිමි කර දුන්හ. විනුජ රන්පුල සහ වනුජ සහන් ද ඒ අතරට ඇතුළත් වූහ.

දෙපිල අතර, සිව්වැනි එක්දින තරගය මේ 23 වැනිදා දඹුල්ලේදීම පැවැත්වේ.

බංග්ලාදේශ යොවුන් පිල – 184 (ඕවර 49.3) අශිකුර් සමන් නොදැවී 54, අසාන් හබීබ් 33 (විනුජ රන්පුල් 32/3, රවීන් ද සිල්වා 38/3, වනුජ සහන් 26/2)

ශ්‍රී ලංකා යොවුන් පිල – 188/7 (ඕවර 46.4) ෂොවෝන් ඩැනියෙල් නොදැවී 85, වනුජ සහන් නොදැවී 38 (මුෂ්ෆික් හසන් 46/3)

නිරෝෂාන් ප්‍රියංකර