විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබන සඳුදා (24) පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය වර්ජනය කරන ලෙස ඉන්දීය දේශපාලකයන් පිරිසක් ඉල්ලා සිටින හෙයින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේදී සංක්‍රමණික සේවකයන් 4ක් ඇතුළු හින්දු හා සික් ජාතිකයන් ඝාතනය කිරීම සම්බන්ධව පාකිස්තානයට චෝදනා කරමින් මේ ක්‍රිකට් තරගය වර්ජනය ඉල්ලා සිටී.
ඉන්දියාවේ මුම්බායි හි 2008දී සිදු වූ මාරක ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්ථානයට චෝදනා කරමින් ද්විපාර්ශ්වික තරග ක්‍රීඩා කිරීම බොහෝ දුරට ප්‍රතික්ෂේප කළද, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රටවල් දෙකටම ඉවත්වීම කිසිසේත් කළ නොහැකි පසුබිමක මේ ආන්දෝලනය හටගෙන තිබේ.
ඉන්දීය කැබිනට් ඇමතිවරයකු වන ගිරිරාජ් සිං මහතා තරගය නැවැත්වීමට මැදිහත් වීම ගැන සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර, පන්ජාබ් ක්‍රීඩා ඇමැති පර්ගාට් මහතා ද පාකිස්තානය සමඟ තරග කිරීම නවතා දමන ලෙස ඉල්ලා ඇත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා මහතා පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේ සෑම තරගයකටම ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම්ගත වගකීමක් රටට ඇති බවයි.
“ඝාතන සියල්ල අපි තරයේ හෙළා දකිනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සංවිධාන යටතේ අපට කිසිදු තරගයක් ප්‍රතික්ෂේප කරන්න බෑ ”යනුවෙන් ශුක්ලා මහතා සඳහන් කළේය.
ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන් පවසන්නේ, “ක්‍රීඩාව හා දේශපාලනය මිශ්‍ර කිරීම වැදගත් නොවන බවයි. “මගේ අදහස අනුව ඉන්දියාව-පාකිස්තානය අතර තරගය ඉදිරියට යා යුතු බවයි“ පදුකෝන්ගේ මතය වේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය මේ සම්බන්ධව තවමත් නිල ප්‍රතිචාර නොදක්වා ඇති අතර, ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා මහතාගේ පුත් ජේ ෂා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටී. ඔහු පකිස්තාන ක්‍රිකට් ආයතනය සාමාජිකත්වය දරන ආසියා ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වීමද විශේෂත්වයකි.