ශාන්තිනී කෝන්ගහගේ
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ට මැර ප්‍රහාර එල්ල කරමින් කාන්තාවන් දේශපාලනයේ ඉදිරියට පැමිණීමට එරෙහි ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය මැඩලීමට සියලු දෙනා එක් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ (22) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මෙසේද කීවාය.
“කාන්තා නියෝජනය සියයට 25 දක්වා වැඩි කිරීමට එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. දැනට 1926ක් ප්‍රාදේශීය සභික කාන්තාවන් සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ මාස තුනක් ඇතුළත දෙවැනි වතාවටත් පළාත් පාලන මන්ත්‍රීවරියකට පහරදීම් ඊයේ සිදු වුණා. මාස තුනකට පෙර කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට පහර දුන්නා. ඊයේ දිනයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ මුහුණට මන්ත්‍රීවරයෙක් සියලු දෙනා බලා ඉඳිද්දී පහර දුන්නා. තාමත් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ. මන්ත්‍රීවරිය වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
රට තුළ මහජනතාවට බලපාන ප්‍රශ්න ප්‍රාදේශීය සභා තුළ කතා කරන්න අනිවාර්යෙන්ම සිදු වෙනවා. මෙහිදී අදහස් ප්‍රකාශ කරන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට , විශේෂයේ කාන්තා මන්ත්‍රීවරියන්ට ආණ්ඩුවේ මන්ත්‍රීවරු මැර ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව සියලු කාන්තා සංවිධාන සහ කාන්තා මන්ත්‍රීවරියන් පුහුණු කරන ආයතන විරෝධය දැක්විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂය කාන්තාවන් දේශපාලනයේ ඉදිරියට ගෙන ආවේ මෙවැනි මැර ප්‍රහාරවලට මුහුණ දීමට නොවේ. කාන්තාවන් දේශපාලනය ඉදිරිපත් වීම වැළැක්වීම ආණ්ඩුවේ අරමුණදැයි සැක සිතෙනවා. ශීලාචාර රජයක් මෙවැනි කාන්තා හිංසනයක් සිදු කරන්නේ නැහැ. කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට පහර දුන් තැනැත්තන්ට අධිකරණය ඇප ලබා දුන්නා. මේ අවස්තාවේදී අපට පොලිසියෙන් සාධාරණයක් සිදු නොවේ නම් පෞද්ගලික නඩුවක් පැවරීමට සිදු වෙනවා. මෙවැනි පහරදීම් හෙළා දැකීම පමණක් නොව නීතිමය කටයුතු සඳහා ආධාර කරන ලෙස කාන්තාවන් දේශපාලනය ගෙන ඒමට උනන්දු කරවූ සියලුම ආයතනවලින් මා ඉල්ලා සිටිනවා.”
ශිරෝමි අබයසිංහ