ලෝක ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 32කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අයසීසී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන මේ තරගාවලිය මෙවර පැවැත්වෙන් 7 වැනි වරටය.මේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එරට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත් තරගාවලියේ සත්කාරක අයිතිය හිමිව ඇත්තේ ඉන්දියාවටයි. අද සිට ආරම්භ වන තරග ඩුබායි, අබුඩාබි සහ සාජාහිදී පැවැත්වීමට නියමිතය.
සුපිරි 12 වටය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අබුඩාබියේදී පළමු කාණ්ඩයෙන් තරග වදින්නේ මෙරට වේලාවෙන් පස්වරු 3.30ටය. එදිනම රාත්‍රී 7.30ට එම කාණ්ඩයෙන්ම එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඩුබායිහිදී දෙවැනි තරගයට එක් වනු ඇත.
කෙලින්ම සුපිරි 12ට
මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇති බැවින් ඔවුන්ට සුපිරි 12 වටයේ ස්ථානයක් වෙන්ව තිබිණි. ඊට අමතරව 2018 වසරේ දෙසැම්බර් 31 වන විට අන්තර්ජාතික විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 8 අතර සිටි සෙසු කණ්ඩායම් 7 ද සුපිරි 12 වටයට ඍජුවම සුදුසුකම් ලැබීය.
ඒ අනුව අවසන් වරට පැවැති ලෝක ශූරතාවලියේ කිරුළ දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් 7 ද සුපිරි 12 වටය ඍජුවම එක් විය.
මූලික වටයෙන් 4ක්
ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා අයිසීසීය විසින් ශ්‍රේණිගත කිරීම් සලකා බැලූ දිනය වන විට මුල් ස්ථාන 8 අතර නොසිටි බංග්ලාදේශය (9) සහ ශ්‍රී ලංකාව (10) සමඟින් 2019 වසරේ එක්සත් අරාබි එමීර්හිදී පැවැති තරගාවලියේ ශූරයන්, අනුශූරයන් සමඟ කණ්ඩායම් 6ක් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 අතරට එක් වීමේ සඳහා පළමු වටයෙන් තරග කිරීමට සිදු විය. එහිදී ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව ‘ඒ’ කාණ්ඩයෙන් ද බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඕමානය ‘බී’ කාණ්ඩයෙන් ද තරග කළ අතර, ඒ ඒ කණ්ඩායම්වල පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තයත්, දෙවැනි ස්ථාන ගනිමින් නැමීබියාව සහ බංග්ලාදේශයත් සුපිරි 12 වටයට එක් විය.
තරග 30ක්
අද ආරම්භ වන සුපිරි 12 වටයේ තරග නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වේ. එක සහ දෙක ලෙස කාණ්ඩ දෙකකින් කණ්ඩායම් 6 බැගින් තරග වදින එම වටයේදී තරග 30ක් පැවැත්වෙනු ඇත. ඒ අනුව සෑම කණ්ඩායමක්ම මේ වටයේදී තරග 5කට සහභාගී වීමට නියමිතය. ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට අවසන් පූර්ව වටයට එක්වීමේ අවස්ථාව හිමි වේ. එහිදී නොවැම්බර් 10 පළමු අවසන් පූර්ව තරගයත්, නොවැම්බර් 11 දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා ඩුබායිහිදී පැවැත්වේ.
බරටම තෑගි
මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ත්‍යාග සදහා පිරිනැමීමට අයිසීසීය විසින් වෙන් කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5.6කි.
ශූරයන්ට පිරිනැමෙන අමෙරිකානු ඩොලර් මිලියන 1.6ට අමතරව අනුශූරයන්ට හිමි වන මුදල අමෙරිකානු ඩොලර් 800,000කි. අවසන් පූර්ව වටයෙන් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් 400,000 බැගින් හිමි වන අතර, සුපිරි 12 වටයේ සෑම තරගයකම ජය ගන්නා කණ්ඩායමට අ. ඩො ඩොලර් 40,000 බැගින් හිමි වේ. අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබා සුපිරි 12 වටයෙන් පරාජය වී තරගාවලියෙන් ඉවත් වන කණ්ඩායම් සඳහා අ. ඩො. 70,000 බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
ඉතිහාසය
මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ වසර 5කට පසුවය. අවසන් වරට 2016දී මේ තරගාවලිය පැවැති අතර, මේ 7 වැනි ලෝක කුසලාන තරගාවලියයි.
2007 වසරේ සිට මේ දක්වා පැවැති තරගාවලිය හයෙන් දෙකකදීම ශූරයන් වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්ව තිබේ. ඔවුන් 2012 සහ අවසන් වරට පැවැති 2016දී එම ශූරතා අත් කර ගත්හ. මංගල ලෝක කුසලාන ශූරතාව ඉන්දියාව දිනාගත් අතර, පාකිස්තානය (2009), එංගලන්තය (2010) සහ ශ්‍රී ලංකාව (2014) ද එක් වරක් බැගින් ශූරතා දිනා ගෙන ඇත. මෙහිදී දෙවරක් අනුශූරයන් වීමට ශ්‍රී ලංකාව සමත් වීම ද විශේෂත්වයකි. පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය එක් අවස්ථාව බැගින් අනුශූරතාව අත් කර ගෙන ඇත.
ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනයි. ඔහු තරග 31කදී (2007-2014) ලකුණු 1016ක් රැස් කිරීමට සමත්ව තිබේ. ක්‍රිස් ගේල් (920) දෙවැනි තැන පසු වන අතර, මෙවර කොදෙව් සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටිති.
බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් (තරග 28) සහ පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩි (2007 – 2016 තරග 34) කඩුලු 39 බැගින් බිඳ දමමින් වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් පසු වෙති.
කොරෝනා ප්‍රහාර
කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේය.
මේ තරගාවලිය අතරතුර කණ්ඩායමකට ක්‍රීඩකයකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම අයිසීසීය විසින් වෙනම කමිටුවක් පිහිටුවා තිබේ.
නිරෝෂාන් ප්‍රියංකර