26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsස්ලිට් මහපොළ යටතට ගෙන ස්වාධීන සරසවියක් කරන්න

ස්ලිට් මහපොළ යටතට ගෙන ස්වාධීන සරසවියක් කරන්න

වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජනතාවට පිළිතුරු දීමට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා

ඇමැති දිනේෂ් ගුණවර්ධන

දේශපාලනඥයන්ට වඩා නිලධාරීන් වංචාවලට සම්බන්ධයි

ජේ.සී. අලවතුවල (සජබ)

රාජ්‍ය සම්පත් රජයෙන් ඉවත් කිරීම බරපතළ වරදක්

මහාචාර්ය චරිත හේරත් (පොජපෙ)

ජනතාව පත් කළ අප ඇත්ත කියන්න බය නැහැ

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

කෝප් කමිටුවට පොලිස් ලොක්කෙක් ඕනෑ

ඇමැති වාසුදේව නානායක්කාර

මාලඹේ පිහිටි තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) සම්බන්ධයෙන් වන සියලු සාවද්‍ය ගිවිසුම් අහෝසි කර, එම ආයතනය මහපොළ භාරකාර අරමුදල් මණ්ඩලය යටතේ පාලනය වන ආයතනයක් බවට පත්කළ යුතු බව වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ආයතනය මහපොළ භාරකාර අරමුදලේ පූර්ණ හිමිකාරිත්වය සහිත ගාස්තු අයකරන විශ්වවිද්‍යාලයක් ලෙස මෙරට සමස්ත දූ දරුවන්ට‍ ප්‍රයෝජනවත් වන ආයතනයක් ලෙස පවත්වාගෙන යා යුතු බවද ඇමැතිවරයා පැවසීය.

2015 වසරේදි යහපාලන ආණ්ඩුව සමයේදි ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් දුන් වැරැදි උපදෙසක් අනුව මෙම ආයතනය ස්වාධින ආයතනයක් ලෙස වෙනම පවරාගෙන ඇති අතර එම පවරා ගැනීම නීත්‍යනුකූල නොවන ගනුදෙනුවක් බව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව හා විගණන කොමිෂන් සභා වාර්තාව මගින් පවා තහවුරු කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය. එබැවින් මෙම තත්ත්වයන් නිවැරැදි කිරීමට‍ කඩිනමින් පියවර ගත යුතු බවද වෙළෙඳ ඇමැතිවරයා අවධාරණය කළේය.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

කථානායක මහින්ද යාපා අ‍බේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර ලිපි ලේඛන, වාර්තා හා පෙත්සම් ඉදිරිපත් කිරිම සිදුවිය. ඉන් පසුව මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ඉන් පසුව පනත් කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කළ අතර සභාව කල් තබන අවස්ථාවේ විවාදය ආරම්භ විය.

පත් කළ මන්ත්‍රී චරිත හේරත් මහතා (පොජපෙ) – පොදු ව්‍යාපාර කාරක සභාව මඟින් 2021.08.10 දා පළමු වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. දෙවැනි වාර්තාව 2021.04.06 දා ඉදිරිපත් කර තිබෙනවා. පළමු වාර්තාවේ කෝප් විමර්ශන 6ක් අන්තර්ගතයි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල්අඟුරු ප්‍රසම්පාදනය, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය හා ප්‍රසම්පාදන කටයුතු, රාජ්‍ය සේවාව ඩිජිටල් කිරීම සම්බන්ධයෙන් අයි.සී.ටී. ආයතනය විසින් සිදු කළ කාර්යභාරය, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය සම්බන්ධව ප්‍රසම්පාදනය යන මූලික කරුණු මෙම වාර්තාවට ඇතුළත් වෙනවා.

මෙම විමර්ශනවලට අමතරව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික හානිය, කැලණි ගඟේ ජල දූෂණය ගැන මේ වාර්තාවල සඳහන් වෙනවා. නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ මහපොළ අරමුදල ශිෂ්‍යයත්ව බාර අරමුදල මඟින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය ගැන සිදු කර තිබෙන ආයෝජනයන් සහ එහි අයිතිය ගැනයි.

ගල්අඟුරු වැනි සංවේදී අමුද්‍රවය ඉක්මනින්, වැඩි ප්‍රමාණවලින් මිලදී ගැනීම ගැන ප්‍රසම්පාදන ලිහිලක් අවශ්‍ය බව ඉදිරිපත් කරනවා. මහින්ද මහතාගේ කාලයේ උතුරු අධිවේගී මාර්ගය හදන්න කටයුතු කළා. නමුත් යහපාලනය ඇවිත් එය වෙනස් කළා. මේ ගැන ශක්‍යතා අධ්‍යයනයක් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙනවා. මේ ශක්‍යතා අධ්‍යයන මඟින් ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශාල දූෂණ වංචා සිදු වන බවට කෝප් කමිටු වාර්තාවෙන් අප පෙන්වා දෙනවා.

ස්ලිට් එක ගැන අද වන විට තීරණාත්මක සාකච්ඡාවක් බවට පත්ව තිබෙනවා. ඒ ගැන දෙවැනි කෝප් කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරනවා. ස්ලිට් ආයතනය ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉදි කළ එකක්. ස්ලිට් ආයතනය 1998 වසරේදී ආරම්භ කළා. මාලඹේ ප්‍රදේශයේ අක්කර 25ක භූමියක් තුළ මෙය ඉදි කර තිබෙනවා. රුපියල් මිලියන 500ක මුදලක් මේ සඳහා රජයෙන් දී තිබෙනවා. උසස් අධ්‍යාපන, වෙළඳ අමාත්‍යාංශ ඔස්සේ මේ ආයතනය ආරම්භ කර ඉදිරි කාලයේදී මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමට යෝජනා වී තිබෙනවා. 1999 වසරේදී මේ ආයතනය පනතක් ලෙස සම්මත කරන තෙක් ලිමිටඩ් ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවට එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කළා. ලාබ නොලබන රජයේ ආයතනයක් විදියට මෙම ආයතනය නම් කළා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, බී.ඕ.අයි. ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන ගණනාවක නිලධාරීන් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අයත්. ඉදිරි කාලයේදී මේ ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමට නියමිතයි. 2015 මාර්තු 19 ඉතා වැදගත් තීරණ කිහිපයක් ගත්තා. මහපොළ අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළා. රාජ්‍ය සම්පත් රජයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඩොක්ටර් වික්‍රම වීරසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් පෙන්වාදී තිබෙනවා.

මහපොළ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට ඔහු කළ ප්‍රකාශයන් මෙම ආයතනය රජයෙන් ඉවත් කිරීම සඳහා බලපෑවා. 2017 මැයි 04 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රයකින් මෙම ආයතනය රජයට තිබෙන සම්බන්ධතාව නැති කර ගන්නවා. මේ විදියට රාජ්‍ය සතු සම්පත් රජයෙන් ඉවත් කරන්න දෙන්න හොඳ නැහැ. මහ දවල් රාජ්‍ය සම්පත් රජයෙන් ඉවත් කිරීමේ බරපතළ වරදක්. මේ වැරැද්ද එතැනින් නැවතුණේ නැහැ. ස්ලිට් ආයතනය පෞද්ගලික එකක් ලෙසට පවරා ගැනීම වැරදියි.

(නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා (පොජපෙ) – කෝප් කමිටු සභාපතිවරයා ගෙනා යෝජනාව ස්ථිර කරනවා.

(නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය)

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා – බදු ගෙවන ජනතාවට යළි පිළිතුරු දීමට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. එය කෙසේ ගන්නවාද, පරිහරණය කරනවාද යන්න ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. ඒ ගැන කෝප් කමිටු සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ගන්නා තීරණ අප අගය කරනවා. බරපතළ මූල්‍ය, නීතිමය, පරිපාලන උල්ලංඝනය ගැන ගැඹුරින් විමර්ශනය කළ යුතුයි. විගණකාධිපතිවරයාගේ වාර්තාවන් මෙහි සැලකිල්ලට ගන්නවා. විවිධ ආයෝජනයන් ගැන මෙහි සැලකිල්ලට ගන්නවා. මූල්‍ය විගණනය, පාරිසරික, වෝහාරික විගණනයන් ගැන මෙහි සැලකිල්ලට ගන්නවා. කෝප් කමිටුව මේ ගැන දැඩි අවධානයට යොමු කළ යුතුයි.

අපේ රාජ්‍ය ආයතන මුලින් දෙපාර්තමේන්තු ලෙස ආරම්භ වුණා. අභියෝගවලට ඉක්මණින් තීරණ ගත යුතුයි. සති ගණන් මාස ගණන් බලා සිටින විට ලංකාවට පාඩු සිදු වෙනවා. භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් සෑම සංස්ථාපිත ආයතනයකම සිටිනවා. මහා පැරකුම්බා රජු තමයි අපට තිබෙන ලොකුම විගණනය කියා දුන්නේ. කොළඹ, කෑගල්ල, ගම්පහ කැලණි ගග නියෝජනය කරනවා. කැලණි ගගේ දූෂණය ගැන කරන විමර්ශනය ඉතා වැදගත්. බහුකාර්ය ගංගාවක කේන්ද්‍රස්ථානය ලෙස මෙම ගග දෙස බැලිය යුතුයි. එය දූෂණය වීමට ඉඩ නොදිය යුතුයි. කෝටි ගණන් මහජන මුදල් නාස්ති නොවීමට ඉඩ නොදිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ)- ගල් අඟුරු සම්බන්ධයෙන් විශාල වංචාවක් සිදුව ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අද හෙළි වී තිබෙනවා. විවිධ අයථා ක්‍රම මඟින් කැලණි ගඟ දූෂණය වීම ගැනත් කෝප් වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. නැනෝ පොහොර ගෙන්වීමෙන් වංචාවක් සිදු වන්නේ ද යන්න ගැන පාර්ලිමේන්තුවෙන් සොයා බැලිය යුතුයි. මොහාන් පෙරේරා, වීරසිංහ නමින් පෞද්ගලික දෙදෙනකුගේ ගිණුම්වලට පොහොර ගෙන්වීමට රජයේ මුදල් කෝටි ගණනක් බැර කර තිබෙනවා. එසේ කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා. මේ ගැන පිළිතුරක් දෙන්න.

(පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානක්‍යම් මහතා මුලසුනට පැමිණියේය.)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා (පොජපෙ) – ස්ලිට් ආයතනය ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත්. කිසිම දෙයකට සම්බන්ධ නොමැති ආයතනයක් ලෙස ස්ලිට් ආයතනය රෙජිස්ටර් කර තිබෙනවා.

චරිත හේරත් මහතා – පෞද්ගලික ආයතනයක් නොවේ. මහපොළ භාරකාර අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මුදල් ගෙන ස්ථාපිත කළ ආයතනයක්. පෞද්ගලික ආයතනයක් නම් රජයත් සමඟ ගිවිසුම් ගහන්නේ නැහැ.

එස්.බී. දිසානායක මහතා – සභාපතිවරයා කී දේට පිළිතුරු වාර්තාව මෙහි තිබෙනවා. එය මම සභාගත කරනවා.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා – ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයේදී ඉන්දීය තානාපති කාර්යාලය මඟින් මේ යෝජනාව රජයට ඉදිරිපත් කරනවා. ඉන්දියාව නම් කළ පුද්ගලයාගේ නමින් එල්.සී. විවෘත කර රජය මුදල් බැර කර තිබෙනවා. කිසිදු අයථා ගනුදෙනුවක් සිදුව නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ) – බොහෝ ගනුදෙනුවලදී දේශපාලන පලිගැනීම් කියලා දේශපාලකයන් බේරෙනවා. එයාර් බස් ගනුදෙනුව ගැනත් වුණේ එහෙමයි.

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා – එයාර් බස් ගනුදෙනුව අවලංගු කළා යහපාලනය කාලයේදී. ඒ ගැන අප සෙවිය යුතුයි.

ඉරාන් වික්‍රමරත්න මහතා – ඒ ගැන සතුටුයි. වැරදි කර තිබෙන අයට එරෙහිව නඩු දාන්න. කෝප් කමිටුවේ නිලධාරීන් මහන්සි වෙලා දූෂණ වංචා ගැන සොයා ගන්නවා.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා – ඉරාන් වික්‍රමරත්න මහතාගේ කතාව ගැන මම කනගාටු වෙනවා. මහ බැංකු බැදුම්කර වංචාව ගැන සිදු කළ කෝප් කමිටු වාර්තාව නිසා තමයි කෝප් කමිටුවට තිබූ ගෞරවය කෙලෙසුනේ. මේ වංචාවලට ඉරාන් මන්ත්‍රීතුමන්ලා සහාය දුන්නා.

ඉරාන් වික්‍රමරත්න මහතා – එහෙම කියන්න එපා. මම එදා කෝප් කමිටුවේ හිටියෙත් නැහැ.

රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා – හෙජිං ගනුදෙනු කෝප් කමිටුවෙත් මම හිටියා. ඒත් මේ විමර්ශන ඉදිරියට ගියේ නැහැ. ඒ පළපුරුද්ද අපට තිබෙනවා. පොදු එකඟතාවකින් මේ වාර්තාව සභාවට ඉදිරිපත් කරනවා.

මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය ගැන විශේෂ වාර්තාවක්. මේ ආයතනය ආරම්භයේ සිට රාජ්‍ය භාරකාරිත්වයෙන් ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවට ඉන් කියනවා. පෞද්ගලික හිමිකාරිත්වයක් වෙතට එය බාරදීමට කටයුතු කරන බව එහි සඳහන්. රාජ්‍ය ආයතනයක් ලෙස ස්ලිට් ආයතනය සුරක්ෂිත කළ යුතු බවට මේ වාර්තාවෙන් කියනවා.

මේ විෂයන් ගැන දන්නා අයට විනාඩි 11 යි. දන්නේ නැති ඕන දෙයක් කතා කරන්න හැකි අයෙකුට විනාඩි 15 යි. අපි ජනතා ඡන්දයෙන් පත්වෙලා ඇවිත් ඉන්නේ. අප මේවා කියන්න බය නැහැ. ස්ලිට් ආයතනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. රජයේ බාරකාරිත්වය තුළ මෙය පවත්වාගෙන යෑමට පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලිට්‍රෝ ආයතනය වගේ ඒවා ගැන කෝප් කමිටුවට විගණනය කළ නොහැකි විදියට හැසිරෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගැන කෝප් කමිටු රැස්වීමක් දා තිබුණා. එදා කතා කර තිබුණේ ඩාලි රෝඩ් එකේ දෙයක් ගැනයි. කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් නිසා නිවැරදි විගණනයන් කරන්න බැරි වෙනවා. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා (පොජපෙ) – දේශපාලකයන් හොරකම් කර තිබෙනවා. හොඳම උදාහරණය තමයි තොරතුරු තාක්ෂණ ආයතනය.

(පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා මුලසුනට පැමිණියේය.)

රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා – ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුළ විශාල වංචාවක් සිදුවෙලා තිබෙනවා. බලාගාරයේ අඩු ධාරිතාවක් සිදු කරමින් ඇතිව තිබෙන අර්බුදය සැලකිය යුතුයි. එහි ඒකකය රුපියල් හතර නම් පිටින් ගන්න වෙනවා. රුපියල් 40කට විතර. බලාගාරයට හරියට ගල්අඟුරු නොලැබීම නිසා රුපියල් මිලියන 983ක් පාඩුයි.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා – විවිධ කොමිටි තිබෙනවා. ඉවැලුවේශන් කොමිටි කියලා තිබෙනවා. ඒ සියලු දෙයින් ගන්නා තීරණ විධායක බලය අනුව තමයි ක්‍රියාත්මක වන්නේ. මෙරට අපරාධ පිළිබඳ ක්‍රියාත්මක වන බල අධිකාරියත් සමඟ කෝප් කමිටුවත් ක්‍රියාත්මක විය යුතුයි. පොලිසියේ ඉහළ බලධාරියෙක් මේ කමිටුවේ සිටිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ) – වාසුදේව ඇමැතිවරයා කියා සිටියා විධායකයට බලය තිබෙනවා කියලා. ඒ නිසා තමයි අපේ යහපාලන ආණ්ඩුව කාලයේ ස්වාධීන කොමිසම් සභා නිර්මාණය කර රාජ්‍ය සේවකයන්ට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ. කැලණි ගඟ දූෂණය ගැන කෝප් එකෙන් කතා කරනවා. නමුත් පෝට් සිටි එකෙන් සිදු වන පරිසර දූෂණය ගැන කෝප් කමිටුවෙන් අද කතා කළ හැකිද.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා – මහපොළ භාරකාර අරමුදලේ මුදල් අයථා ලෙස පරිහරණයත් පෙන්වා දෙන්න පුළුවන්. කෝප් කමිටුවට සීමා නොවී හැමෝම එක්ව මේවා ඉදිරියට ගෙන යාම සඳහා යෝජනාවක් ගෙනා යුතුයි. මේ වංචා දූෂණ ගැන හොයන්න පටන් ගෙන ටික දවසකින් එය නතර කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා (සජබ) – ජනතාව අද පුදුම විදියට අසරණ වෙලා තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයාගේ පඹයන් හදලා පුළුස්සන තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. මහපොළ අරමුදලේ තිබෙන මුදල් යොදවා තමයි ස්ලිට් එක ආරම්භ කර තිබෙන්නේ. ඇතුළත්මුදලි මහතා ආරම්භ කළ අරමුදලේ මුදල් පෞද්ගලික පරිහරණයට ලක් කළ හැකි තත්ත්වයක් අද උදාවෙලා තිබෙනවා. වංචා දූෂණ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලකයන්ට. නමුත් සැලසුම් සහගත ලෙස නිලධාරීන් මේ වංචා දූෂණ සිදු කරනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (සජබ) – ස්ලිට් ආයතනය ආරම්භ කළේ කොහොමද යන ගැටලුව මටත් තියෙනවා.

චරිත හේරත් මහතා – ස්ලිට් ආයතනය එවකට රජය සමඟ ගිවිසුම් තුනකට එළඹ තිබෙනවා. ඉඩම්, මුදල් හා තවත් කරුණක් සම්බන්ධයෙන්.

හර්ෂ ද සිල්වා මහතා -මෙම ආයතනය නැවත පවරා ගන්න කියලා විගණකාධිපතිවරයා කියනවා. එය බරපතළ නිර්දේශයක්. ඒ වගේම මෙම ගිවිසුම් අත්සන් කළ අයට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ ක්‍රියාත්මක කරන්නට කියලත් නිර්දේශ කරනවා.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඔහු සතු සුවිශේෂ හැකියාවන් හා අනෙකුත් සභික මන්ත්‍රීවරුන්ගේ සහයෝගයද ලබා ගනිමින් එම කාරක සභාව යහපත් ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඉතාම හොඳ කෝප් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට අප‍ගේ ස්තූතිය පිරිනමනවා. නිදහසින් පසුව මේ රටේ සුවිශේෂී කාර්යයන් සිදුකළ සුවිශේෂ වෙ‍ළෙඳ අමාත්‍යවරුන් කිහිප දෙනකු සිටියා. ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරිමට ඒ අය දායක වුණා. ටී. බී. ඉලංගරත්න, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා. එතුමා ඉතාම සද්භාවයෙන්, අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරමින් උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ශිෂාධාර දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව භාරය ආරම්භ කළා. අද මහපොළ බිලියන 12 ක අරමුදලක් බවට පත්වී තිබෙන්නේ. ඒ එතුමාගේ කැපවීම මත සිදුවීමක්.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදි මහපොළ ඉතා විශාල වංචා ප්‍රමාණයකට දායකවීම හේතුවෙන් අද වන තෙක් කිසිම අග්‍රවිනිශ්චයකාරවරයෙක් මෙහි සභාපතිත්වය දරන්නට කැමතිව නැහැ.

ස්ලිට් ආයතනය සම්බන්ධ අවසන් වාර්තාවද නිර්දේශ ඉදිරිපත් කර ඇති බැවින් එම කරුණුද සැලකිල්ලට ගෙන ඉතා ඉක්මනින් මේ සභාවේ අනුමැතියද ඇතිව ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් එළඹ ඇති සාවද්‍ය ගිවිසුම් අහෝසි කළ යුතුයි. මීට‍ අදාළ සියලු වාර්තා සියල්ල මා සභාවට ඉදිරිපත් කරනවා. මේ ආයතනය රටටත් රටේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වන මහපොළ භාර යට‍තේ පවත්වා ගෙන යන ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බවට මා යෝජනා කරනවා. ඒ වගේම ‍එහි දැනට සිටින කළමනාකරණයත් සංයුත වන පරිදි හොඳ ව්‍යුහයක් සකස් කර ගත යුතුයි.

පාර්ලිමේන්තුව නොවැම්බර් 8 දා පෙරවරු 10.00ට යළි රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න