ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉදිකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (slit) පෞද්ගලික ආයතනයක් බවට පත් කරමින් 2017 වසරේදී යහපාලන ආණ්ඩුව කාලයේ නිකුත් කළ ගැසට් පත්‍රිකාව අවලංගු කර නැවත රජයට පවරා ගැනීමට පියවර ගත යුතු යැයි පොදු ව්‍යාපාර කාරක සභා සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසුවේය.
මාලඹේ අක්කර 25ක භූමියක ඉදි කර ඇති මෙම ආයතනය පෞද්ගලික ආයතනයක් බවට පවරාදීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රජයේ ආයතනයක් ලෙස ඉදි කළ එම ආයතනයට එවකට රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා දෙක සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
1999 වසරේදී මේ ආයතනය පනතක් ලෙස සම්මත කරන තෙක් ලිමිටඩ් ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවට එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කළ බවත් ලාබ නොලබන රජයේ ආයතනයක් විදියට මෙම ආයතනය නම් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, බී.ඕ.අයි. ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන ගණනාවක නිලධාරීන් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බවත් හෙතෙම පැවසුවේය.
සිස්ටමික් ඔපරේෂන් එකක් විදියට රාජ්‍ය සතු සම්පත් රජයෙන් ඉවත් කිරීමට ගත් හොඳම උදාහරණයක් ලෙස මෙම සිදුවීම් පෙන්වාදිය හැකි බවත් මෙවැනි දේ ඉදිරියේදී සිදු නොවීමට රජය වග බලා ගත යුතු බවත් ඔහු කීය.
ඒ සඳහා මෙම කෝප් කමිටු වාර්තාව යොදා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න