රනිල් වික්‍රමසිංහ
වර්තමානයේ දී ලෝකයම තරුණ තරුණියන් අතට පත්වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ අනාගතයද තරුණ තරුණියන් භාරගත යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී එජාප නායකයා මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළ තරුණ තරුණියන්ට භාරදීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳවත් හඳුන්වාදුන් නව සාමාජිකයන් බඳවා ගැනීමේ ඇප් එක පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබේ. නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඩිජිටල් සාමාජික කාඩ්පත් කඩිනමින් නිකුත් කිරීමට ද පියවර ගැනෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එජාප නායකයා මෙසේද කීය.
ලෝකයම අද තරුණ තරුණියන් අතට පත්වෙලා තිබෙනවා . තාක්ෂණික දියුණුවත් සමඟ සියලු දෙනා තරුණ තරුණියන් දෙස අවධානය යොමු කරනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැමදාම තරුණ තරුණියන්ට ඉදිරියට එන්න අත හිත දුන්න පක්ෂයක්. අපේ පක්ෂය තරුණ තරුණියන්ට බාර දෙන්න මම අපේක්ෂා කරනවා. ඒ වගකීම බාර අරගෙන ඉදිරියට නිසියාකාරව කරගෙන යන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලනවා. මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය තරුණ තරුණියන්ට බාර වෙනවා.
මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ