ඇමැති ඩග්ලස් දේවානන්දා
ජනතාවට තිබෙන ප්‍රශ්න උග්‍ර කර ඔවුන් වෙනත් මාවතකට ගෙන උද්ඝෝෂණ පවත්වා දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට දෙමළ සන්ධානයේ සුමන්තිරන් වැනි කපටි දේශපාලනඥයන් උත්සාහ ගනිමින් සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
හෙතෙම සඳහන් කරන්නේ, ධීවර ප්‍රශ්න උග්‍ර කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ධීවර උද්ඝෝෂණ සුමන්දිරන් මහතාගේ රඟපෑමක් බවයි.
ඇමැතිවරයා මේ බව පවසා සිටියේ, උතුරු මුහුදු ප්‍රදේශවල පසුගිය දා සිදු කළ ධීවර උද්ඝෝෂණය පිළිබද කිලිනොච්චියේ පැවති ජන හමුවක දී අදහස් සක්වමිනි.
ඒහිදී ඇමැතිවරයා මෙසේද කීය.“උතුරේ බහුතරයක් වන ධීවර ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස මවා පාමින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට අඟවමින් ජනතාවට ඇති ප්‍රශ්න උග්‍ර කර තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සැළසුම් සහගතව ජනතාව මුලා කිරීමට දෙමළ සන්ධානය කටයුතු කරනවා. උතුරේ ජනතාවගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලැබුණහොත් ටීඑන්ඒ දේශපාලන ප්‍රවාහයට යම් තර්ජනයක් වන බව දන්නා සුමන්දිරන් වැනි අය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීම කනගාටුවට කරුණක්.
“ධීවරයන්ගේ ප්‍රශ්න දීර්ඝ කාලයක සිට පැවතගෙන එන ඒවායි. වත්මන් රජය මඟින් මා ධීවර අමාත්‍යවරයා ලෙස පත් කර මෙම ගැටලුව විසඳීමට උත්සාහ ගනිමින් සිටිනවා. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මා සමඟ දේශපාලන වශයෙන් ගැටීමට නොහැකි නිසා දෙමළ ජනතාව මුලා කරමින් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිනවා.
“ඉන්දීය ධීවරයන්ගේ උතුරු මුහුදේ සිදු කරන මුහුදු සම්පත් ආක්‍රමණය නතර කිරීම සඳහා විවිධ පැති 4ක් ඔස්සේ මේ වන විට ක්‍රියා කරගෙන යනවා. ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දීය මධ්‍යම රජය සමඟ ද අදාළ ඉන්දීය ප්‍රාන්ත දේශපාලන නායකයන් සමඟ ද දෙරටේ ධීවර සංගම් මට්ටමින් ද සාකච්ඡා කර මෙම ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරනවා. දෙමළ සන්ධාන දේශපාලන නායකයන් බිය වී සිටින්නේ දමිළ ජනතාවගේ ගැටලු විසඳුනහොත් තමන්ගේ රැවටිලිකාර දේශපාලනය අවසන් වන නිසායි. මට වංචාකාර දේශපාලනය හුරු නැහැ. මම ජනතාව වෙනුවෙන් වැඩ කළ පුද්ගලයෙක්. ඉදිරියටත් එලෙසම වැඩ කිරීම අපේක්ෂාවයි.”
බුද්ධිකා ඉඹුලාන