27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයහපාලනයෙන් ආදායම් වැඩි කළත් මේ ආණ්ඩුව ආදායම් අහිමි කර ගත්තා

යහපාලනයෙන් ආදායම් වැඩි කළත් මේ ආණ්ඩුව ආදායම් අහිමි කර ගත්තා

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

යහපාලන ආණ්ඩු සමයේ රජයේ ආදායම රුපියල් බිලියන දහසේ සිට දෙදහස දක්වා වැඩි කර ගත් නිසා ජනතාවට හැකි තරම් සහන ලබා දීමට හැකි වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ කළේ එම ආදායම් අහිමි කර ගැනීම බවත්, මේ නිසා සහන නොමැතිව ජනතාව දිනෙන් දින පීඩාවට පත්වෙමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

හෙතෙම මෙම අදහස් පළ කළේ, මහනුවර ගැටඹේ වටරවුම පුළුල් කිරීම හේතුවෙන් හානියට පත් ඒ ආසන්නයේ පිහිටි ළමා උද්‍යානයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගියදා (23) පෙරවරුවේ එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“ජනතා ඉල්ලීම් කිසිවක් ඉටු කරන්නට අද ආණ්ඩුවට හැකියාවක් නැහැ. මේ නිසා අද ජනතාවට දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ මිනිස්සු කාලා බීලා සතුටින් හිටියා. අප පාලනය කළ අවුරුදු හතරහමාර තුළම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමක් වුණේ නැහැ. සමහර භාණ්ඩවල මිල අඩු වුණා. යහපලාන ආණ්ඩුව බලයට එන විට ආණ්ඩුවේ ආදායම තිබුණේ වසරකට බිලියන 1,000යි. අප මේ ආණ්ඩුවට රට බාර දෙන විට බිලියන 2,000ක ආදායමක් තිබුණා. අප අපේ පාලන කාලයේ දී ආණ්ඩුවේ ආදායම දෙගුණයක් කර ගත් නිසා වෘත්තිය සමිතිවල ඉල්ලීම් පවා ඉටු කරන්න පුළුවන් වුණා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කළා. සමෘද්ධි සහනාධාරය තුන් හතර ගුණයකින් වැඩි කළා. පාසල් ළමුන් රක්ෂණය කළා. ඒවා කරන්න පුළුවන් වුණේ ආණ්ඩුවේ ආදායම් අප වැඩි කරගත් නිසයි. මේ ආණ්ඩුව පැමිණ රජයේ ආදායම සියයට 75කින්ම අඩු කර ගත්තා.

ජීවත් වෙන්න ගොවිතැන් කරන ගොවියෝ පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. සමහරු වගා කරන්නේ විනෝදයට. සැබෑ ලෙසම ගොවිතැන් කරමින් ඉතා අසීරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා ගොවි ජනතාව වගාවට පොහොර ඉල්ලලා පාරට බැස්සම විනෝදයට ගොවිතැන් කරන ඇතැමුන් මේ ප්‍රශ්නය විහිලුවට ගෙන කතා කරනවා.”

අසේල කුරුළුවංශ හා එල්.එස්. එගොඩවිට – මධ්‍යම පළාත් සංචාරක