පරිස්සම් සහගත පිතිහරඹයක නිරත වූ රසී වැන් ඩර් ඩුසේන් සහ ඒඩ්න් මාක්‍රම් එක්ව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ පස්වරුවේ ඩුබායි නුවර පැවැති සිය පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක ජයක් අත් කර දීමට සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව කොදෙව් පිලට දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 20 නිමා වන විට කොදෙව්වන් ලකුණු 143කට රඳවා තබා ගත්තේ කඩුලු 8ක් ද බිඳ දමමිනි. ජයග්‍රහණය හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 18.2කදී කඩුලු 2ක් දැවීයෑමෙන් පසු ඉලක්කය සපුරා ගත්හ.
දකුණු අප්‍රිකානු පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ඩුසේන් පන්දු 51කදී හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර, නොදැවී ලකුණු 51ක් ලැබූ මාක්‍රම්ගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ඔහුගේ අර්ධ ශතකයට වැය වූයේ පන්දු 26ක් පමණි. දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 83ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගීම ද කැපී පෙනිණි.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිලේ පිතිකරුවන්ට තැන්පත් වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. ආරම්භක පිතිකරු එවින් ලුවිස් රැස් කළ ලකුණු 56 හැරුණු විට සෙසු පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් නොලැබිණි. සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රිටෝරියස් කඩුලු 3ක් දවාලීය.