සැබෑ පෙම්වතුන්ට රජ සැප වැඩකට නැති දෙයකි. එවැනි භෞතික සම්පත් අතීතයේ සත පහකට ගණන් නොගත් රජ කුමරුන්ගේ සහ කුමරියන්ගේ පූජනීය පෙම් කතා අපි අසා ඇත්තෙමු. එසේවුවත් අද කාලයේ නම් එවැනි පෙම්වතුන් ඉතා විරලය. නැති තරම්ය. මිල මුදල් ජීවිතයේ ප්‍රධාන සාධකය කරගත් නූතන ජන සමාජයේ ආදරයත් අලෙවි වන ගානය. එවැනි කාලයක ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ පළමු මිනිපිරිය සුරූපි මාකෝ කුමරිය වසර 2012දී තෝකියෝ සරසවියේදී සාමාන්‍ය පුරවැසියකු වන කෙයි කොමුරෝ සමග ඇතිකරගත් පෙම් පළහිලව්ව පුදුමාකාර එකකි. එය වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම සැබෑ ප්‍රේමයකි.
සරසවියේදී එකට ඉගෙන ගත් සාමාන්‍ය පවුලක තරුණයකු වන කෙයි කොමුරෝ සමඟ පෙමින් බැඳී පසුගිය කාලයේ ලොව පුරා කතාබහට ලක් වූ ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ මිනිපිරිය මාකෝ කුමරිය ඊයේ (26) යුග දිවියට පිවිසියාය. වසර 2018 දී කොමුරෝ සමඟ විවාහ වීමට තීරණය කර තිබුණත් ඒ සඳහා සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවන බව කියමින් ඇය විවාහය කල් දමා තිබූ අතර, ඊයේ දෙදෙනා අතර සිදු වූ විවාහය ඊයේ අවසන් මොහොතේදී හෝ අවලංගු වනු ඇතැයි රජ පවුලේ සාමාජිකයෝ බලාපොරොත්තු සහගතව බලා සිටියහ.
ඇය ජපානයේ රජ පවුලේ ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරුගේ වැඩිමල් දියණියයි. සිය පදවි නාමය, රාජකීය පෙළපත, සිය පවුල තුළ අසීමිත ගෞරවාදරය, ජපාන ජනතාවගේ ගරු බුහුමන් සියල්ල ඇය ආදරය හමුවේ දෙවැනුවට තැබුවාය.
මේ විවාහය සිදු වූයේ රජ පවුලේ විවාහයකට හාත්පසින්ම වෙනස් චාම් උත්සවයකදීය. විවාහ වූ සැනින්ම මාකෝ කුමරිය රජ පෙළපතින් ඉවත් වීම ද සිදු විය.
ඊයේ පෙරවරුවේ 10.00ට පමණ ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීම සිදු වූ අතර, රජ පවුලේ සුපුරුදු විවාහ චාරිත්‍ර කිසිවක් එහි දක්නට නොලැබිණි.
ජපාන නීතියට අනුව එරට රජ කුමරියක සාමාන්‍ය තරුණයකු හා විවාහ වීමේදී ඇගේ රාජකීයත්වය අහිමි වන අතර, රජ කුමරුවන්ට මේ නීතිය අදාළ නොවේ.
සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ වීමෙන් පසු රජ පවුලෙන් නික්ම යන ජපාන රජ කුමරියන්ට එරට රජයෙන් ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබා දෙන අතර, මාකෝ කුමරිය එම මුදලත් ප්‍රතික්ෂේප කළ බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.
ජපානයේ ටැබ්ලොයිඩ් පුවත්පත් සහ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා මාකෝ කුමරියගේ හිසකේ විලාසිතාව ද විවේචනයට ලක් කළේ එය කොහෙත්ම ජපාන සම්ප්‍රදායට අනුකූල නොවන බව කියමිනි. ඇගේ විවාහයට එරෙහිව ඊයේ ජපානයේ විරෝධතාවක් ද පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ සිය පෙම්වතා සමඟ විවාහ වීමෙන් පසු මාධ්‍ය හමුවකට එක් වූ කුමරිය ඇගේ විවාහයෙන් කිසිවකුට අපහසුතාවක් මතු වූයේ නම් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බව කීවාය.
‘රජ පවුලට සිදු වූ අපහසුතාව ගැන මම ඉතාමත් කනගාටු වන අතර, මට දිගින් දිගටම සහයෝගය දුන් අයට මම කෘතඥ වෙනවා,‘ ඇය පැවසුවාය. මට කෙයි වෙනුවෙන් වෙනත් ආදේශකයක් නෑ. අපිට විවාහ වෙන්නම ඕන කළා.‘ ඇය එසේ ද කීවාය.
මෙහිදී අදහස් පළ කළ මාකෝ කුමරියගේ පෙම්වතා කෙයි කොමුරෝ කියා සිටියේ තමා මාකෝ කුමරියට අතිශයින්ම ආදරය කරන බවය. ඇය සමඟ ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.
‘මම මාකෝට ආදරෙයි. අපට ලැබෙන්නේ එක ජීවිතයක් විතරයි. ඉතින් මට ඕන කරන්නේ ඒ ජීවිතය එකිනෙකාට ආදරය කරමින් ගත කරන්නයි.‘ ඔහු එසේ ද කීවේය.
‘බොරු චෝදනා නිසා මාකෝ මානසිකව හා ශාරීරිකව ඉතා පහළ තත්ත්වයකට පත්ව සිටීම ගැන මට ඉතා කනගාටුයි.‘ කොමුරෝ සිය පෙම්වන්තිය ගැන සැබැවින්ම දුක් වූයේය.
ටෝකියෝ නුවර පිහිටි සිය මන්දිරයෙන් නික්ම විවාහය ලියාපදිංචි කරන ස්ථානය කරා යෑමට පෙර මාකෝ කුමරිය සිය මාපියන් වන ෆුමිහිතෝ කුමරුට සහ කිකෝ කුමරියට තෙවරක්ම හිස නමා ආචාර කළාය. අනතුරුව තම බාල සොයුරිය සිප වැලඳ ගත්තාය.
කොමුරෝ සමග සිය ජීවිතයේ ඉතිරි භාගය බෙදා හදා ගැනීමට සිතා සිටින මාකෝ කුමරියට විවාහයෙන් පසුව දුක් කන්දරා ගොඩකට මුහුණපෑමටත් සිදු වනු ඇත. මෙතෙක් කාලයක් රජ සම්පත් මැද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින මේ කුමරියට විවාහයෙන් පසුව සිදුවනු ඇත්තේ සාමාන්‍ය බිරියක මෙන් එදිනෙදා ජීවිතය ගෙවාදැමීමටය. සිය සැමියාගේ අවශ්‍යතා සපුරාලීමටය. රජ පවුලේ මෙන් දාසියන්ගේ සේවය ඇයට නොලැබෙනු ඇත. ඒ සියල්ල අතහැර ඇය මේ තරුණයාගේ අතගත්තේ එතරම් වටිනා තවත් වස්තුවක් ඇයට මෙලොව නැති බව කියමිනි.
මාකෝ කුමරිය සාමාන්‍ය රජ කුමරියක නොව ඉතා බුද්ධිමත් ඉහළ අධ්‍යාපනයක් ලැබූ කුමරියකි. ඇය ජපාන රජ පවුලේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලැබූ පළමු කුමරිය ද වන්නීය. එවැනි පසුබිමක් ඇති රජ කුමරියක සාමාන්‍ය පවුලක තරුණයකු සමග පෙමින් බැඳීම ලොව පුරා ඇතැම් රටවල රාජකීය පවුල්වල රජ කුමරියන්ගේ නළල් තල රැලි ගැන්වූ කාරණාවක් බවට පත් වී තිබිණි. ඇරත් මේ සාමාන්‍ය තරුණයාගේ අත ගැනීම වෙනුවෙන් රාජකීයත්වයට පයින් ගැසීමට මාකෝ කුමරිය ගත් තීරණය ඇතැමුන්ට නම් විස්මයජනකය.
මේ සතියේදී 30 වැනි වියට පා තබන මාකෝ කුමරිය විවාහයෙන් පසු අමෙරිකාවේ පදිංචියට යෑමට බලාපොරොත්තු වන්නීය. ඇගේ සැමියා කොමුරෝ නීතිඥවරයකු ලෙස නිව්යෝක් නුවර රැකියාවක නිරත වීමේ අපේක්ෂාවෙන් පසු වෙයි. කෙසේ වෙතත් ඇයට දින කිහිපයක් සිය අමෙරිකා සංචාරය කල් දැමීමට සිදු වනු ඇත. ඊට පෙර ඇයට නිමා කිරීමට යම් වැඩකොටසක් ඇති බවත්, ඒ අතරතුර ඇයට පළමු වරට සාමාන්‍ය පුරුවැසි ගමන් බලපත්‍රය ද ලබා ගත යුතු බවත් කියැවේ.