සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.
මේ සමඟ දෙපිල අතර එක්දින තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි ජයක් අත් කර දෙමිනි. ශ්‍රී ලංකා පිල හමුවේ පරාජය වූ බංග්ලාදේශය වත්මන් යොවුන් ලෝක ශූරයන් වීම ද විශේෂත්වයකි.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කරමින් දුන් ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 236ක් පමණි.
මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාගේ සටන්කාමී පිති හරඹය හේතුවෙන් 47 වැනි ඕවරය නිමා වන විටත් තරගයේ වැඩි වාසි බංග්ලාදේශය සතුව තිබිණි. ඒ වන විට කඩුලු 6ක් අතැතිව සිටි ඔවුන්ට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 18ක් පමණි.
එහෙත් තරගය අත්නොහැරි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම කඩුලු 6 ලකුණු 13ක් තුළ බිඳ දමමින් ශ්‍රී ලංකා ජය තහවුරු කිරීමට සමත් වූහ.
මෆිජුල් ඉස්ලාම් ලකුණු 62ක් සහ අයිච් මොල්ලා ලකුණු 55ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී විනුජ රන්පුල් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ චමිඳු වික්‍රමසිංහ ලකුණු 102ක් රැස් කළ අතර, ඔහුට අනගි සහායක් දුන් ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 56ක් ඉනිමට එක් කළේය.