ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයකින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එස්එස්සී ක්‍රීඩා සමාජය ලකුණු 15කින් පරාජය කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.
එන්සීසී පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එස්එස්සී පිල ඕවර 36කදී කඩුලු 7ක් දැවී ලකුණු 190ක් රැස් කළ අතර, තරගය නතර කරන විට පොලිස් පිල කඩුලු 4කට ලකුණු 137ක් රැස් කර තිබුණේ ඕවර 25.1කදීය.
මේ අතර, සැරසන්ස් පිලට එරෙහිව හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 149ක ජයක් හිමි කර ගැනීම ද කැපී පෙනිණි. කටුනායක පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් හලාවත පිල ලකුණු 289ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සැරසන්ස් පිලට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 140ක් පමණි.
පළමු දිනය යටතේ පැවැති සෙසු තරගවලින් ජයග්‍රහණ අත් කර ගැනීමට ඒස් කැපිටල්ස්, යුද හමුදාව, ටැමිල් යුනියන්, බීආර්සී, කෝල්ට්ස් සහ කළුතර නාගරික කණ්ඩායම් ද සමත් විය. මේ කණ්ඩායම් පිළිවෙළින් බදුරලිය, ගුවන් හමුදාව, සෙබස්තියනයිට්ස්, සීසීසී, ගාල්ල සහ නාවික හමුදාව පරාජය කළේය.
ටැමිල් යුනියන් ලකුණු 2කින් සෙබස්තියනයිට්ස් පිලත්, කෝල්ට්ස්ලකුණු 17කින් ගාල්ල ක්‍රීඩා සමාජයත් පරාජය කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුවය.
මේ තරගවලදී කැපී පෙනෙන පිතිකරු බවට සීසීසී ක්‍රීඩා සමාජයේ සොනාල් දිනුෂ පත් වූයේ නොදැවී ලකුණු 93ක් රැස් කරමිනි. බීආර්සී පිලට එරෙහිව පැවැති තරගයේදී පන්දු 119කට මුහුණ දුන් දිනුෂ හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඉනිමට එක් කර ගත්තේය.
බදුරලිය ක්‍රීඩා සමාජය සමඟ තරගයේදී ලකුණු 14කට කඩුලු 6ක් බිඳ දැමූ චානක කොමසාරු දවසේ හොඳම පන්දු යැවීම සටහන් කළේය.
මාස ගණනක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විවේක ගෙන සිටි ජාතික කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද මේ තරගාවලියෙන් යළි පිටියට පිවිසියේය. කෝල්ට්ස් පිල නියෝජනය කරන ඔහු ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 45ක් රැස් කළේය.
තරග 3ක් අත්හැර දමයි
මේ අතර, ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ බ්ලූම්ෆීල්ඩ් – පාණදුර (බ්ලූම්ෆීල්ඩ්), කුරුණෑගල – කැන්ඩි කස්ටම්ස් (වෙලගෙදර) සහ මුවර්ස් – ලන්කන් (මුවර්ස්) තරග කාසියේ වාසිය උරගා බැලීමකින් තොරවම අත්හර දැමීමට කටයුතු කර තිබිණි.
නිරෝෂාන් ප්‍රියංකර