ලෝක බලවතුන් අතර අවි තරගයක සීතල යුද්ධයක් ආරම්භ වීමේ පෙර නිමිති පහළ කරමින් චීනය විසින් මෑතකදී අත්හදා බැලූ සුපර් සොනික් අධිවේගී මිසයිලය මේ වන විට අමෙරිකාවේ දැඩි අවධානයට යොමු වී ඇත. මේ මිසයිල අත්හදා බැලීම 50 දශකයේ අග භාගයේදී එවකට සෝවියට් දේශය විසින් ලොව පළමුවරට ස්පුට්නික් කෘත්‍රිම චන්ද්‍රිකා යානය කක්ෂගත කිරීමට සමාන වන බවත් ඊයේ පෙරේදා අමෙරිකාවේ ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මාක් මිලේ විසින් ප්‍රකාශ කරනු ලැබීය.
නවතම හයිපර් සොනික් න්‍යාෂ්ටික මිසයිලයක් අත්හදා බැලූ බවට පළ වන වාර්තා අසත්‍ය බවත්, එය සාමාන්‍ය අභ්‍යවකාශ යානා අත්හදා බැලීමක් පමණක් බවත් චීන බලධාරීන් විසින් මීට පෙර ප්‍රකාශ කරනු ලැබූව ද, අමෙරිකා හමුදා ප්‍රධානියා චීනයේ එම අත්හදා බැලීම තහවුරු කරමින් කියා සිටියේ සැක සහිත චීන හමුදාමය ක්‍රියාකාරකම් ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවය. එමෙන්ම චීනයේ එම මිසයිල අත්හදා බැලීම අමෙරිකාවේ විමතියට හේතු වූ බවත් ඔහු සඳහන් කර තිබේ.
අමෙරිකා මිසයිල ආරක්ෂක පද්ධතිය මඟ හැරීමේ සැලසුමකට අනුව පෘථිවි කක්ෂගත පද්ධතියක් නිර්මාණය කිරීම චීනයේ අභිප්‍රාය වී ඇතැයි ඉන් පෙන්නුම් කෙරෙන බවට ද අමෙරිකාවේ හමුදා විශේෂඥයෝ අනුමාන කරති.
මීට පෙර මේ සම්බන්ධව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ ඇතැම් නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණ ද, පෙන්ටගනය මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටියේ චීනය සිය අත්හදා බැලීම තහවුරු නොකිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ වන විට අමෙරිකාවේ ආරක්ෂක ප්‍රධානින් හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි අමෙරිකා මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ මේ නවතම අත්හදා බැලීම සිදු කර ඇත්තේ දෙයාකාරයකින් අමෙරිකාවේ ආරක්ෂක වළල්ල මඟ හැරීමේ අරමුණින් බව ද අමෙරිකා හමුදා ප්‍රධානිහු පවසති. ඉන් පළමුවැන්න හඳුනා ගැනීම හෝ බාධා කිරීම ඉතා දුෂ්කර කිරීම සඳහා ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වේගයකින් හෝ පැයට සැතපුම් 3,853කට වැඩි වේගයෙන් ගමන් කිරීමේ හැකියාවකින් යුතුව හයිපර් සොනික් මිසයිලය නිර්මාණය කිරීමය. දෙවැන්න එය පෘථිවිය වටා කක්ෂගත වන ආයුධයක් ලෙස එය නිර්මාණය කිරීමය. මේ දෙයාකාරයෙන්ම අමෙරිකාවේ ආරක්ෂක පද්ධතිය මඟ හැරීම චීනයේ අභිප්‍රාය වන බවට අමෙරිකා හමුදා ප්‍රධානිහු විශ්වාස කරති.
එවැනි ක්‍රමවේදයක් පිළිබඳ පසුගිය මාසයේදී ද අමෙරිකා ගුවන් හමුදාවේ ලේකම් ෆ්‍රෑන්ක් කෙන්ඩල්ගේ අවධානය යොමු වී තිබූ අතර, එවැනි ආයුධයක් කක්ෂගත කර පසුව එය අවශ්‍ය ඉලක්කයට පතිත කරවීමට හැකියාව ඇතැයි ද ඔහු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබිණි.
හයිපර් සොනික් මිසයිලය ආරක්ෂාව සහ මිසයිල කල්තියා හඳුනා ගැනීමේ ක්‍රමවේදය ද මඟ හැරීමට සමත් නවීනතම අත්හදා බැලීමක් ලෙස හඳුන්වනු ලබන අමෙරිකාවේ ඒකාබද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මාක් මිලේ උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් යුතුව ඇලැස්කාවේ ඉදිකර ඇති මිසයිල ආරක්ෂක පද්ධතිය ද මඟ හරිමින් සිය ඉලක්කය වෙත යෑමට එය සමත් වනු ඇතැයි ද කියා සිටියේය.
සිය මිසයිල ආරක්ෂක පද්ධතිය යටපත් කළ හැකි චීනයේ හෝ රුසියාවේ මහා පරිමාණ ප්‍රහාරයකට එරෙහිව සටන් කිරීමට අමෙරිකාවේ ආරක්ෂක අංශ සමත් නොවන බව අමෙරිකා හමුදා ප්‍රධානිහු පිළිගනිති. එබැවින් මේ දෙරටේහිම මිසයිල ප්‍රහාර මැඬ පැවැත්වීම සඳහා වඩාත් දියුණු මිසයිල ආරක්ෂක ක්‍රමවේද හඹා යෑමට දැන් අමෙරිකාවට සිදු වී ඇතැයි ද වාර්තා වේ. මිසයිල විශේෂයන්ගේ අදහස අනුව අමෙරිකාව ද මීට පෙර මෙවැනි හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබේ.
පසුගිය ජූලි මාසයේ සිට චීනය මේ අත්හදා බැලීම දෙවතාවක් සිදු කර ඇති බවට වාර්තා පළ වන අතර, එහි පළමු උත්සාහයේදී එම මිසයිලය සිය ඉලක්කයට කිලෝමීටර් 40කින් පමණ මඟ හැරී ගියද, දෙවැනි වතාවේදී එහි ඊට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. මේ වන විට අමෙරිකාවේ ඇතැම් දේශපාලඥයන් සහ විචාරකයන් චීනයේ නවීනතම අභ්‍යවකාශ ආයුධ අත්හදා බැලීම් සම්බන්ධව අතිශය විමතියට හා තැති ගැන්මට පත් වී සිටිති. එමෙන්ම මේ පිළිබඳ පෙන්ටගනයේ දැඩි අවධානය යොමු විය යුතු බවට අවධාරණය කර සිටිති.
එහෙත් ඇතැම් විශේෂඥයන් අමෙරිකාවේ අනුමාන සහ නිගමන තව දුරටත් බැහැර කරමින් සිටින අතර, චීනය විසින් අත් හදා බැලූ හයිපර් සොනික් මිසයිලය තර්ජනයක් නොවන බවට අදහස් පළ කර තිබේ. නව තාක්ෂණය භාවිත කරමින් සිදු කරන චීනයේ මෙවැනි ආකාරයේ න්‍යෂ්ටික ප්‍රහාරයකට අමෙරිකාව ගොදුරු විය හැකි බවට අසූව දශකයේ සිට සැකයක් පැවැතියද, අමෙරිකාවේ මිසයිල ආරක්ෂක පද්ධතිය පරාජය කිරීමට සමත් අත්හදා බැලීමක් මෙතෙක් සිදු වී නැති බවය. කෙසේ වෙතත් අවදානම සහ බිය එකිනෙක හා මිශ්‍ර වීමෙන් පසු මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනුමාන කරන්නේ නම් වඩාත් ආරක්ෂිත ක්‍රමවේද සොයා ගැනීමට අමෙරිකාවට සිදුවනු ඇතැයි ද ඇතැම් විශේෂඥයෝ ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් චීනයේ යුද අභ්‍යාස පසුගිය කාලය තුළ වඩාත් පුළුල් ආකාරයෙන් සිදුවූ බව චීනයේ අසල්වැසි තායිවානය තහවුරු කර තිබේ. චීන යුද ගුවන් යානා මේ වසරේ ආරම්භයේ සිටම තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමේ සිදුවීම් මාලාවක්ම වාර්තා වූ අතර, මේ වනවිටත් මේ දෙරට අතර යුදමය උණුසුමක් පවතී.
සැබැවින්ම තායිවානය යනු මේ මොහොතේ අමෙරිකාව සහ චීනය අතර පවතින උණුසුම් තත්ත්වයට මැදි වූ දිවයිනක් බවට පත් වී ඇත. තායිවාන ජනාධිපතිනිය සායි ඉංග් වෙන් ඊයේ පෙරේදා සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තම රටට චීනයෙන් එල්ල වන තර්ජනය වර්ධනය වෙමින් පවතින බවය. එමෙන්ම තායිවාන භූමියේ මේ වන විට අමෙරිකා හමුදා ස්ථාපිත කර ඇති බවත් ඇය පළමුවරට තහවුරු කළාය.
මිලියන 23ක් ජීවත් වන තායිවානයේ ආරක්ෂාව තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ගත හැකි සියලු උත්සාහයන් ගන්නා බවත් ඇය මෙහිදී ප්‍රකාශ කර තිබේ.
චීනය සහ තායිවානය අතර විරසකය පවතින්නේ දශක ගණනාවක සිටය. මේ වසරේ මුල් භාගයේ සිට තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරමින් සිටින චීන යුද ප්‍රහාරක යානා මේ මාසයේ මුල් සතියේදී සිය මෙහෙයුම් වර්ධනය කර තිබූ අතර, එය අමෙරිකාවේ ද අවධානයට ලක් වූ සිදුවීම් මාලාවක් බවට පත් විය.
ඕනෑම මොහොතක චීනය තම රට ආක්‍රමණය කරනු ඇතැයි තායිවාන ජනතාව තුළ දැඩි බියක් පවතින බව එරට පුවත් වාර්තා කළේය.
එවැනි ආක්‍රමණයක් සිදු වන්නේ නම් තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට පසුගියදා අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චීනයට අනතුරු අඟවා ඇති අතර, චීනයේ හයිපර් සොනික් න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම සිදු වූයේ මෙවැනි පසුබිමකදීය.
දැන් අමෙරිකාවට සිදු වී ඇත්තේ තායිවානයට ආරක්ෂාව සැපයීම වෙනුවට චීනයේ හයිපර් සොනික් මිසයිල අත්හදා බැලීමෙන් අවදානමකට ඇද වැටී ඇති තම රටේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීමටය.
කැලුම් රොෂාන්ත