22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

සටනක් දීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට අසමත් වීමෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඔස්ට්‍රේලියාව සමඟ ඊයේ රාත්‍රී ඩුබායි නුවර පැවැති තරගයෙන් කඩුලු 7ක පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු 154 හඹා ගිය ඔස්ට්‍රේලියානුවන් ඕවර 17ක් තුළ තරගය ජය ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමිනි.

ඔස්ට්‍රේලියා ඉනිමේ ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ නායක ආරොන් ෆින්ච් චාමික කරුණාරත්න යැවූ පළමු ඕවරයේදීම හතරේ පහර 2ක් එල්ල කිරීමට සමත් වූ අතර, ඉනිමේ සිව්වැනි ඕවරය යැවූ ළහිරු කුමාර දරුණු ප්‍රහාරයකට ලක් කළේය. හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟ ළහිරුගේ ඕවරයෙන් ඔස්ට්‍රේලියානුවෝ ලකුණු 20ක් උදුරා ගත්හ.

දුෂ්මන්ත චමීර යැවූ ඔස්ට්‍රේලියානු ඉනිමේ පස්වැනි ඕවරයේදී ඩේවිඩ් වෝනර් ලකුණු 18ක් ලබා සිටියදී දුන් උඩපන්දුව කඩුලු රකින කුසල් ජනිත් පෙරේරා අතින් ගිලිහී ගිය අතර, ඒ වන විට ඔස්ට්‍රේලියානු පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 54ක් විය.

ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ ෆින්ච් පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත් වූයේ ඔහු යැවූ ඉනිමේ 7 වැනි ඕවරයේ පස්වැනි පන්දුව ෆින්ච්ගේ පිත්තේ ගැටී කඩුල්ල තුළට ඇදී යෑමෙනි. ඒ වන විට ඔස්ට්‍රේලියානු පිලේ නායකයා පන්දු 23කදී ලකුණු 37ක් රැස් කර තිබුණේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගිනි. ඒ වන විට ආරොන් සහ වෝනර් අතර පළමු කඩුල්ලට ලකුණු 70ක සම්බන්ධතාවක් ගොඩ නැගී තිබිණි.

මුළු ලකුණු සංඛ්‍යාව 80ක්ව තිබියදී යළි ක්‍රියාත්මක වූ වනිඳු ග්ලෙන් මැක්ස්වෙල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු වෙත උඩපන්දුවක් දී ඔහු දැවී යන විට ලබා සිටියේ ලකුණු 5ක් පමණි. 

ඔස්ට්‍රේලියා ඉනිමේ 10 වැනි ඕවරය නිමා වන විට මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 2කට ලකුණු 95ක් වූ අතර, ඉතිරි ඕවර 10දී ලකුණු 60ක ඉලක්කයක් ලැබී තිබිණි.

ෆින්ච්ගේ දැවීයෑමෙන් පසු කණ්ඩායමේ වගකීම කරට ගත් වෝනර් පන්දු 42කදී ලකුණු 65ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු පිලේ ජයග්‍රහණයේ මාවත විවර කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

ඔහු දැවී ගියේ ජයග්‍රහණයට ලකුණු 25ක් අඩු වී තිබියදීය. අනතුරුව ස්ටීවන් ස්මිත් (ලකුණු 28) සහ මාකස් ස්ටොයිනිස් (ලකුණු 16) සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් ජනිත් පෙරේරාට සහ පැතුම් නිශ්ශංකට සාර්ථක ආරම්භයක් ගැනීමට ඉඩ නොතැබූ ඔස්ට්‍රේලියානු පිලේ වේගපන්දු යවන පැට් කමින්ස් මුළු ලකුණු සංඛ්‍යාව 15දී පළමු කඩුල්ල බිඳ දැමුවේ පැතුම් නිශ්ශංකගේ ඉනිම ලකුණු 7කට සීමා කරමිනි. අනතුරුව කුසල් සමඟ එක් වූ චරිත් අසංලක ඉනිම පිළිසකර කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 78 දක්වා ඉහළ දැමුවේ දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නගමිනි.

ග්ලෙන් මැක්ස්වෙල් යැවූ ඉනිමේ සිව්වැනි ඕවරයෙන් ලකුණු 16ක් උදුරා ගත් මේ පිතිකරුවන් දෙදෙනාගේ සම්බන්ධතාව බිඳ වැටුණේ ඇඩම් සම්පාගේ පන්දුවකට අසලංක දැවී යෑමත් සමගිනි. ඔහු පන්දු 27කදී ලකුණු 35ක් රැස් කළ අතර, ඊට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කුසල් ජනිත් ද ලකුණු 35කට දැවී ගියේ මිචෙල් ස්ටාක් යැවූ ඊළඟ ඕවරයේදීය. පන්දු 25ක් වැය වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් එක් විය.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන ගිය මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33ක් රැස් කිරීමට සමත් විය. නායක දසුන් ශානක සමඟ එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 40ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගූ භානුකගේ ඉනිමට පන්දු 26ක් වැය වූ අතර, හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ ඇඩම් සම්පා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශය සමඟ තරගයට එක් නොවූ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ ඊයේ තරගයට ක්‍රීඩා කළ අතර, වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු විවේක ගන්වා තිබිණි.

ශ්‍රී ලංකාව – 154/6 (ඕවර 20) කුසල් ජනිත් 35, චරිත් අසලංක 35, භානුක රාජපක්ෂ නොදැවී 33 ( ඇඩම් සම්පා 12/2, මිචෙල් ස්ටාක් 27/2, පැට් කමින්ස් 34/2)

ඔස්ට්‍රේලියාව – 155/3 (ඕවර 17) ඩේවිඩ් වෝනර් 65, ආරොන් ෆින්ච් 37, ස්ටීවන් ස්මිත් නොදැවී 28 (වනිඳු හසරංග 22/2)