ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ බංග්ලාදේශය කණ්ඩායම සමඟ ඊයේ පැවැති තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.
අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් වූ කොදෙව් පිල මෙවර තරගාවලියේ හිමි කර ගත් පළමු ජය මෙය වන අතර, මින් පෙර ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් විය.
මේ සමඟ තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගැනීමට කොදෙව් පිලට හැකි වූ අතර, තරගාවලියෙන් අවසන් පූර්ව වටයට පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට බංග්ලාදේශයට සිදු වූයේ සුපිරි 12 වටයේ සහභාගි වූ තරග 3ම පරාජය වීම හේතුවෙනි. ඔවුන්ට තවත් තරග 2ක් ඉතිරිව ඇති අතර, එම තරග ජය ගත්ත ද අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඇත්තේ ඉතා අවම මට්ටමකය.
ඊයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 139ක් පමණි.
ලිටොන් දාස් ලකුණු 44ක් සහ නායක මහමුදුල්ලාහ් පන්දු 24කින් නොදැවී ලකුණු 31ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසාර්ථක විණි.
නිකලස් පූරන් පන්දු 22කින් ලකුණු 40ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ඔහු සමඟින් ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ රොස්ටන් චේස්ට (39) පමණි. ප්‍රබල පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් (4) එවින් ලුවිස් (6) සිම්රන් හෙට්මර් (9), ඇන්ඩෘ රසල් (0) සහ ඩ්වේන් බ්රාවෝ (1) අඩු ලකුණු ගණනකට දැවී යෑම කොදෙව් පිලට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට බාධාවක් විය. ජේසන් හෝල්ඩර් පන්දු 5කින් නොදැවී ලකුණු 15ක් රැස් කරමින් කණ්ඩායම ලකුණු 142 සීමාවට රැගෙන ගියහ. පන්දු යැවීමේදී මෙහෙදි හසන්, මුස්ටෆිසූර් රහමන් සහ ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.
බ.ඉ. කොදෙව් – 142/7 (ඕවර 20) නිකලස් පූරන් 30, රොස්ටන් චේස් 39 (ෂොරිෆුල් ඉස්ලාම් 20/2, මෙහෙදි හසන් 27/2, මුස්ටෆිසූර් රහමන් 43/2)
බංග්ලාදේශය – 139/5 (ඕවර 20) ලිටොන් දාස් 44, මහමුදුල්ලාහ් නොදැවී 31.