ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලොව තුන්වැනි පන්දු යවන්නා බවට පත් වෙයි. සාජාහි පෙරේදා පැවති දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී පිට පිට පන්දු තුනකින් කඩුලු තුනක් දවා ගනිමින් වනිදු හසරංග මේ දස්කම දැක්වීය. කෙසේ වෙතත් සාජාහී පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 4කින් ජය වාර්තා කළහ.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වනිඳු හසරංග මෙතෙක් තරග 6කට සහභාගි වී ඕවර 22ක් යවා කඩුලු 11ක් දවාගෙන වැඩිම කඩුලු බිඳ හෙළුෑ පන්දු යවන්නා බවට පත්ව සිටී. දකුණු අප්‍රිකාවේ ඒඩියන් මාක්රාම්ගේ කඩුල්ල කෙලින්ම බිඳ දැමූ වනිදු හසරංග අනතුරුව යැවූ කෙටි පන්දුවකට ටෙම්බා බවුමා, පැතුම් නිශ්ශංක වෙත උඩ පන්දුවක්දී දැවී ගියේය. දකුණු අප්‍රිකාවේ ප්‍රහාරාත්මක පිතිකරු ප්‍රිටෝරියස්, භානුක රාජපක්ෂ වෙත උඩ පන්දුවක්දී දැවී ගියේ වනිඳුගේ තෙවැනි ගොදුර බවට පත්වෙමිනි.
දකුණු අප්‍රිකා ඉනිම අවසානයේදී වනිඳු හසරංගගේ පන්දු යැවීම 4-0-20-3 ලෙස සටහන් විය. මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී 2007දී බංග්ලාදේශයට එරෙහිව කේප්ටවුන්හීදී හා මෙවර තරගාවලියේදී අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් අබුඩාබියේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් කඩුලු ත්‍රිත්ව සටහන් කළ ක්‍රීඩකයෝ වෙති.
වනිඳු හසරංග පෙරේදා දවාගත් කඩුලු ත්‍රිත්වයත් සමඟ මේ වසරේ විස්සයි20 තරග 18කදී කඩුලු 31ක් දවාගෙන ලොව අංක එකේ විස්සයි20 පන්දු යවන්නා වන දකුණු අප්‍රිකාවේ තබ්රායිස් ශම්සි හා සම වී සිටී.
වනිඳු හසරංග විස්සයි20 අන්තර්ජාතික තරගවලදී කඩුලු ත්‍රිත්වයක් බිඳ දැමූ 24 වැනි පන්දු යවන්නා බවට පත් වූ අතර, මෙවැනි දස්කමක් දැක්වූ 4 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වේ. විස්සයි 20 අන්තර්ජාතික තරගවලදී ලසිත් මාලිංග බංග්ලාදේශයට හා නවසීලන්ත කණ්ඩායම්වලට එරෙහිව අවස්ථා දෙකකදී කඩුලු ත්‍රිත්ව වාර්තා කොට ඇති අතර, තිසර පෙරේරා ඉන්දියාවට එරෙහිව හා අකිල ධනංජය බටහිර ඉන්දීය කොදෙව් දුපත් පිලට එරෙහිව කඩුලු ත්‍රිත්ව වාර්තා කොට ඇත.
ප්‍රින්ස් ගුණසේකර සාජා සිට…