― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා පිල වෙනසක් නැතිවම එංගලන්තයට එරෙහිව සාජා පිටියට

ශ්‍රී ලංකා පිල වෙනසක් නැතිවම එංගලන්තයට එරෙහිව සාජා පිටියට

අද පැරදුණොත් තරගාවලියෙන් ඉවත් වීම ස්ථිරයි

විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයේ සිටින අපරාජිත එංගලන්ත පිල සමඟ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පිල අද (1) සාජා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට මුණ ගැසෙයි. දැනට මේ තරගාවලියේ දස්කම් දක්වන කණ්ඩායම් සැලකිල්ලට ගනිද්දී මේ තරගය ගලිවර් හා ලිලිපුට් අතර, තරගයක් ලෙස කිසිවකු හෝ හැඳින්වීමට උත්සහා කළද, තරුණ ජවයකින් සමන්විත ශ්‍රී ලංකා පිල පෙරැළිකාරී තත්ත්වයකට පත් වුව හොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

මන්ද යත් ශ්‍රී ලංකාවේ නව ක්‍රිකට් සොයා ගැනීම්වලින් සමන්විත වත්මන් කණ්ඩායම ඕනෑම වේලාවක ඕනෑම කෙරුමකු ඉදිරියේ කෙළින් සිටීමට හැකි බවට ඇතැම් අවස්ථාවලදී ඔප්පු කොට ඇති හෙයිනි. කරුණු එසේ වුවද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දැනටමත් සහභාගි වූ තරග තුනකදී පරාජ දෙකක් ලැබු ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථා සියයට 50කින් පමණ අහිමි කරගෙන ඇති අතර අද තරගයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට අසමත් වුව හොත් තරගාවලියෙන් ඉවතට විසි වී යෑම කිසිවකුට හෝ වළක්වාලිය නොහැක. එංගලන්තය මේ තරගාවලියේ පළමු කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින හෙයින් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති අභියෝගය සුළුපටු එකක් නොවේ.

ඉදිරි පෙළ ඇතැම් පිතිකරුවන් අසාර්ථක වුවද පෙරේදා දකුණු අප්‍රිකාවට එරෙහි කණ්ඩායම අද තරගයේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා පිලේ සැලසුම වී තිබේ. ඊයේ පැවැති ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසියෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු හා නායක දසුන් ශානක ඇතුළු කළමනාකාරීත්වය තීරණය කොට ඇත්තේ මෙතෙක් දක්නට ලැබුණු සුළු සුළු අඩුපාඩු නිවැරදි කොට එංගලන්තයට එරෙහිව මෙතෙක් ක්‍රීඩා කළ කණ්ඩායම ක්‍රීඩා කිරීම වඩාත් යෝග්‍ය බවය.

කෙසේ වුවද සාජාහි නිමාව දුටු දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී ශ්‍රී ලංකාව පසුපස අවාසනාව ලුහුබැඳ පැමිණි අතර, තරුණ ක්‍රීඩකයන් නරක ලෙස ක්‍රීඩා කළේ යැයි චෝදනා කළ නොහැක. ඉදිරිපෙළ පිතිකරුවන් කඩුලු පූජා කිරීමෙන් ඇති වූ පීඩනය මත ලකුණු පුවරුවට එක් කර ගැනීමට තිබූ තවත් ලකුණු 20ක් 30ක් පමණ අහිමි වීම ශ්‍රී ලංකා පරාජයට හේතුවක් විය.

එංගලන්ත පිලේ පන්දු යැවීම ප්‍රතිවාදීන්ට හිසරදයක්ව ඇති හෙයින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා කල්පනාකාරී ලෙස තම පිතිකරණය සැලසුම් කළ යුතුව ඇත.

මොයින් අලී, ටයිමල් මිල්ස් හා ක්‍රිස් වෝර්කස් වැනි පන්දු යවන්නන් ලකුණු නොදී කඩුලු දවා ගනිමින් ඉතා හොඳ ස්ථාවරයක පසු වන හෙයින් ශ්‍රී ලංකා ඉදිරි පෙළ වඩාත් පරිස්සම් වීම වැදගත් කරුණකි.

බංග්ලාදේශයට එරෙහි තරගයේදී සාජා තණතීරුව හැසුරුණු ආකාරයෙන් උපරිම පළ නෙලාගත් චරිත් අසලංක හා භානුක රාජපක්ෂ යළිත් නැඟී සිටිය යුතු බවට මේ තරගයේ අපේක්ෂා ඉහළටම පැමිණ ඇති අතර, තැනට ඔබින ලෙස ක්‍රීඩා කරන පැතුම් නිශ්ශංක කෙරෙහි ද බලාපොරොත්තු අලුත් වී තිබේ. පැතුම් නිශ්ශංක මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 169ක් රැස් කර පිතිකරුවන් අතර, ඉදිරියෙන්ම සිටීම තරුණ ක්‍රීඩකයකු ලෙස පැසසිය යුතු දක්ෂතාවකි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිතිකරුවන් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇති අතර, පෙරේදා රාත්‍රියේ ඩුබායිහිදී පැවැති ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ජොස් බට්ලර් පන්දු 32කදී හයේ 5ක් හා හතරේ 5ක් සමඟ නොදැවී ලකුණු 71ක් රැස් කර ගැනීම තරම් විනාශකාරී පිතිකරණයකට ශ්‍රී ලංකාව අවස්ථා නොදිය යුතුව ඇත. එබැවින් පිත්ත ගිනියම් කරමින් ඉදිරියට එන එංගලන්ත පිතිකරුවන් මෙල්ල කර ගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සැලසුම් සහගත වීම වැදගත් වී තිබේ.

තරගයේ පාලනය අතට ගැනීමට නම් ඉතාම වැදගත් කාර්යභාරයක් ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුළය. ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කිරීමත් සමඟ එංගලන්තය අනෙකුත් සියලු කණ්ඩායම් වෙත උස් හඬින් ප්‍රකාශයක් යවා ඇති අතර, ශ්‍රී ලංකාව අද තරගයේදී එංගලන්තය පරාජය කළ හොත් ඔවුන් තුළ ඇත අභිමානය හීන වීමට එය හේතුවක් වේ.

විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේදී එංගලන්තය හා ශ්‍රී ලංකාව තරග 12කදී මුණ ගැසී ඇති අතර, එහිදී එංගලන්තය තරග 8ක් හා ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගෙන ඇත. ශ්‍රී ලංකාවට එංගලන්තය සමඟ තරගය හැරුණු කොට සුපිරි 12 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගය මේ 4 වැනිදා අබුඩාබිහීදී පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර සාජා නුවර සිට