― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsගුවන් හමුදාවට පළමුවරට සත් සාමාජික රග්බි කුසලානයක්

ගුවන් හමුදාවට පළමුවරට සත් සාමාජික රග්බි කුසලානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි ඉතිහාසයට ස්වර්ණමය මතක සටහනක් එක් කරමින් පළමුවරට සත් සාමාජික රග්බි කුසලානයක් අත්කර ගැනීමට නුවන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ගුවන් හමුදා පිල මේ විශිෂ්ට ජයග්‍රහණයට හිමිකම් කීවේ වොරියර්ස් කුසලාන අන්තර් සමාජ ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 24-0කින් පරාජය කරමිනි.

අවසන් මහා තරගයේදී ගුවන් හමුදා පිල රැස් කළ ලකුණු 24න් 14ක්ම රැස් කරනු ලැබුවේ නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ නුවන් පෙරේරා විසිනි. ඔහු අනගි උත්සාහක දිනුමක් තැබීමට සමත් වූ අතර, සිය කණ්ඩායම වාර්තා කළ උත්සාහක දිනුම් තුනක් සමඟ දඬුවම් පහරක් ද සාර්ථක කරගත්තේය.

තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 14-0කින් පෙරමුණ ගත් ගුවන් හමුදා පිලට දෙවැනි භාගයේදීත් පොලිස් පිල වෙතින් කිසිදු අභියෝගයක් එල්ල නොවීය. ගුවන් හමුදා පිල වෙනුවෙන් රමිත ද සිල්වා සහ ශෂික ප්‍රනාන්දු සෙසු උත්සාහක දිනුම් වාර්තා කළහ. තරගාවලියේ වීරයා සම්මානය ගුවන් හමුදා පිලේ නායක නුවන් පෙරේරාට හිමි විය.

ගුවන් හමුදා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ නාවික හමුදා පිල ලකුණු 12-7කින් පරාජය කරමිනි. සීඑච් ඇන්ඩ් එෆ්සී පිලට එරෙහිව ලකුණු 17-14ක ජයක් වාර්තා කරමින් පොලිස් කණ්ඩායම අවසන් තරගයට තේරී පත් විය.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පැවැති වොරියර්ස් කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයන්ට කුසලානය සමග මුදලින් රුපියල් 2,50,000ක් හිමි වූ අතර, අනුශූරයන්ට රුපියල් 1,50,000ක මුදල් ත්‍යාගයක් හිමි විය.

මේ තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 26-19කින් නාවික හමුදා ‘ඒ‘ පිල පරාජය කළ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම විසිනි. නාවික හමුදා ‘බී‘පිල ලකුණු 19-17කින් පරාජය කළ යුද හමුදා ‘ඒ‘ පිල බඳුන ශූරතාව දිනා ගත් අතර, යුද හමුදා කෝල්ට්ස් පිල ලකුණු 25-12කින් පරාජය කරමින් පළිහ ශූරතාව දිනා ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව සංවිධාන කළ මේ තරගාවලියට කණ්ඩායම් 10ක් තරග වැදිණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වොරියර්ස් කුසලාන රග්බි තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පොලිස්පති චන්දන වික්‍රමරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, සංවිධායක කමිටු සභභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, එම සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය­ාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහත්වරුන් ද එක් වූහ.

ඡායාරූපය – සුලෝචන ගමගේ

ෆවුස් මොහොමඩ්