― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් එළියට

ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් එළියට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් සිටිය හැකිද? නැද්ද? තීරණය වූ ශ්‍රී ලංකාවට වැදගත්ම තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 26ක පරාජයක් ලබයි. ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් සමග ලබන 4 වැනිදා තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට යන බව ඔප්පු විය. සුපිරි 12 වටයේ සුපිරි පිතිකරණයක් දියත් කළ ජොස් බට්ලර් ශ්‍රී ලංකා දඟ පන්දුවට ඇඹරී ගියද වේග පන්දු යවන්නන්ට එරෙහිව සාජා පිටියේ දස අතට එල්ල කළ අග්‍රගණ්‍ය ප්‍රහාර හමුවේ රැස්කළ ශතකය එංගලන්ත ජයග්‍රහණයට මග පාදා දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා පිටියේ මෙතෙක් පැවැති විස්සයි 20 තරග 21කින් තරග 12ක්ම මුලින් ලකුණු රැස්කළ කණ්ඩායම ජය වාර්තා කොට ඇති ඉතිහාස කතාන්දරයක් තිබියදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කිරීමට තීරණය කළේ කුමන අදහසකින් දැයි පැහැදිලි වූයේ නැත. එම අනපේක්ෂිත ආරාධනාවෙන් පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ නියමිත ඕවර් 20 තුලදී කඩුලු 4කට ලකුණු 163ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පිල ඕවර් 20ක් නිමා වෙද්දී සියලු දෙනා දැවී ලකුණු 137ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය හඹා යද්දී දසුන් ශානක හා වනිදු හසරංග 6වැනි කඩුල්ලට ලකුණු 53ක සම්බන්ධතාවක් ගොඩනැගීම හැරෙන්නට තරගයක් ජය ගන්නට තරම් සටන්කාමී බවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුළ නොවූහ. වනිඳු හසරංග හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 34ක් ලබාගත් අතර, දුවද්දී දැවී යෑමකට ලක් වූ දසුන් ශානක හයේ පහරක් හා හතරේ 2ක් සමග ලකුණු 26ක් ලබා ගත්තේය.

මේ තරගාවලියේ කඩුලු ත්‍රිත්වයක් ලබා කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු බළ ඇණිය එංගලන්ත පිලට ප්‍රබල තර්ජනයක් ලබා දුන්නද ළහිරු කුමාර ඇතුලු මඳ වේග පන්දු යවන්නෝ තරගය පාලනය කර ගැනීමට අසමත්වීමෙන් එංගලන්තය වැඩි වාසි ලබා ගත්තේය. එංගලන්තය ලබාගත් ලකුණු 163න් ලකුණු 125ක්ම ශ්‍රී ලංකා මඳ වේග පන්දු යවන්නන්ට එල්ල කළ හිත්පිත් නැති ප්‍රහාරවලින් වාර්තා විණි.

එංගලන්ත පිල ඕවර් 10කදී කඩුලු 3ක් බිද වැටී ලකුණු 47ක් ලබා අසීරු තත්ත්වයක සිටියදී ජොස් බට්ලර් හා ඔයින් මෝගන් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවක් එක් කිරීම තරගයේ හැරවුම් ලක්ෂය විය. එංගලන්තයේ ගිනියම් වු පිතිකරු ජොස් බට්ලර් පන්දු 67කදී හයේ හා හතරේ පහර 6 බැගින් ලබා නොදැවී ලකුණු 101ක් සම්පුර්ණ කළේ ඉනිමේ අවසන් පන්දුවට ස්කුවෙයාර් ලෙග් හරහා දැවැන්ත හයේ පහරක් දුෂ්මන්ත චමීරට එල්ල කරමිනි. එම ඕවරයේම බට්ලර් ස්කුවෙයාර් ලෙග් වෙතට උඩ පන්දුවක් ලබාදුන් අතර, එය පැතුම් නිශ්ශංක අතින් ගිලිහී ගියේ මෙතෙක් මේ තරගාවලියේ වැඩිම ලකුණු ලැබු පිතිකරු බවට බට්ලර් රජ කරවමිනි.

එංගලන්ත ඉනිම ශක්තිමත් කළ ඔයින් මෝගන් පන්දු 36කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමග ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය. එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ ජේසන් රෝයි හා ජොස් බට්ලර් දුෂ්මන්ත චමීරගේ පළමු ඕවරයේදීම ලකුණු 11ක් ලබාගත් අතර, වනිඳු හසරංග යැවූ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ජේසන් රෝයීගේ කඩුල්ලේ කෙලින්ම පන්දුව වැදීමෙන් ලකුණු 9කට දවා ගැනීමට සමත් විය. වනිඳුගේ එම පළමු ඕවරයේ ලකුණු 3ක් පමණක් එංගලන්ත පිල ලබා ගත්තේ ඉතා අසීරුවෙනි.

එහෙත් එංගලන්ත ඉනිමේ 15වැනි ඕවරය යැවු ළහිරු කුමාර හයේ 3ක් ද සමග ලකුණු 21ක් ලබා දුන් අතර, 18වැනි ඕවරය යැවූ දසුන් ශානක ලකුණු 18ක් ලබා දුන්නේය. තම විස්සයි 20 අන්තර්ජාතික තරග බිමේ තරග 30කදී කඩුලු 50ක් වාර්තා කළ වනිඳු හසරංග ලකුණු 21කට කඩුලු 3ක් ලබා ගනිද්දී මහේෂ් තීක්ෂණ ඕවර් 4දී ලකුණු 13කට සීමා කළේය.

ශ්‍රී ලංකා ආරම්භ කඩුල්ල ඉනිමේ පළමු ඕවරයේදිම දවා ගැනීමට එංගලන්ත පිල සමත් වූ අතර, ලකුණු අතර සිටි පැතුම් නිශ්ශංක දුවද්දී දවා ගැනීමට හැකිවීම ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණය විය. චරිත් අසලංක ලකුණු 21ක් ලබා සිටියදී මිඩ් ඕන්හි සිටි මොයින් අලී වෙතට උඩ පන්දුවක් දී දැවී ගිය අතර, කුසල් පෙරේරා ලකුණු 7කට දැවී ගියේ යලිත් වරක් අසාර්ථකත්වය පෙන්නුම් කරමිනි. මේ තරගාවලියේ එවැනිම අසාර්ථකත්වයකට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 13කට දැවී ගියේය. පන්දු 18කදී ලකුණු 26ක් ලබාගත් භානුකගේ දැවී යෑම ශ්‍රී ලංකා පිලට ඉතාම තීරණාත්මක විය.

ශ්‍රී ලංකා පිල සුපිරි අට වටයේ අවසන් තරගයට මුහුණදීම සදහා අද අබුඩාබි බලා පිටත්වීමට සුදානම් වේ.

ප්‍රින්ස් ගුණසේකර සාජා නුවර සිට..