― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsකාබනික පොහොර ප්‍රශ්නයෙන් ගොවියායි, මහජන බැංකුවයි එකටම අවසන් වුණා

කාබනික පොහොර ප්‍රශ්නයෙන් ගොවියායි, මහජන බැංකුවයි එකටම අවසන් වුණා

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

කාබනික පොහොර අර්බුදයෙන් ආණ්ඩුව ගොවියාත්, මහජන බැංකුවත් එකවර අවසන් කර දැමූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ගොඩනඟාගෙන තිබූ කීර්තිනාමය ක්ෂණයකින් අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව ගෙවුණු දින කිහිපය තුළදී කටයුතු කළ බව පෙන්වා දුන් ඒ මහතා, ලෝකයේ හොඳම බැංකු දහස අතරත් ආසියාවේ හොඳම බැංකු හාරසියය අතරත් තිබෙන මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛනගත කළේ බැංකුවේ වරදින් නොව, ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් යැයි ද කියා සිටියේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවැති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

හෙතෙම එහිදී මෙසේද කීය. “කාබනික පොහොර ව්‍යාපෘතියක් ගොවියාගේ ඔලුව උඩට එකවර අතහැරලා දැන් මුළු කෘෂිකර්මාන්තයම අනතුරට වැටිලා තිබෙන්නේ. කාබනික පොහොර කියා පස් වර්ග විකිණීමේ ජාවරමකුත් මේ අතරේ ඇති වෙලා. ඒ ගැන සොයා බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නෑ. මේ කාබනික පොහොර යොදා වගා කළ එළවළු හා පලතුරුවලින් නිසි ඵලදාවක් ලැබෙන්නේ නෑ. මේ ප්‍රශ්න නිසා වී ගොවියා තවම ගොවිතැන් කටයුතු ආරම්භ කර නෑ. මහ කන්නය පටන් අරගෙන දැන් දවස් 20කටත් වැඩියි. හැබැයි ගොවියන්ගෙන් සියයට 80ක් තවමත් කුඹුරට ගිහින් නෑ. පොහොර නැති නිසා ගොවීන් කුඹුරට නොයද්දී අනෙක් පැත්තෙන් කාබනික පොහොර ගැටලුව නිසා බැංකු පද්ධතියටත් තර්ජනයක් මතු වෙලා. කාබනික පොහොර ආනයනය කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරද්දී චීනයට කාබනික පොහොර ඇනවුමක් යන්නේ කොහොමද? ඒ චීන සමාගමේ මෙරට නියෝජිතයා කවුද කියා සොයා බැලුවම තමයි චිත්‍රය පැහැදිළි වෙන්නේ. ඔහු අගමැති ලේකම්ගේ ඥාතියෙක්.

“සාමාන්‍යයෙන් පොහොර ඇතුළු පරිසරයට බලපාන අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඇනවුම් නිකුත් කිරීමට පෙර එම පොහොර සාම්පල පරීක්ෂා කරනවා. එය අපට අනුගත නම් පමණයි ඇනවුම් කරන්නේ. මෙතැනදී පොහොර සාම්පල පරීක්ෂා කරන්නත් කළින් ණයවර ලිපි විවෘත කරලා පොහොර ඇනවුම් කරලා. සාම්පලවල ප්‍රතිඵල එන්නත් කළින් චීනය තමන්ගෙන් ආනයනය කළ පොහොර තොගය මෙරටට එවන්න නැවට පටවනවා. චීන පොහොර රැගත් නැව ලංකාවට එද්දී තමයි කාබනික පොහොර සාම්පලවල මෙරටට අහිතකර බැක්ටීරියාවක් තිබෙන බව හෙළිවන්නේ. පරීක්ෂා කළ සාම්පල තුනේම මේ බැක්ටීරියාව තිබෙනවා. හැබැයි චීනය තමන්ගේ ඇනවුම එවලා ඉවරයි. දැන් ඔවුන් මේ පොහොර තොගය ලංකාවට ගොඩබාන්න අවශ්‍ය බව කියනවා. චීන තානාපතිවරයා සෘජුව මේ ගැටලුවට සම්බන්ධ වුණා. හැබැයි ලංකාවේ නීතිය අනුව පොහොර රටට ගන්න බෑ. එය රටේ වාසනාවක්. නමුත් චීනය තමන්ගේ වාඩුව ගත්තේ මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමෙන්. පොහොර නැතත් දැන් සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ. එහෙම නොවුණොත් මහජන බැංකුව හරහා චීනය සමඟ ගනුදෙනු කරන සියලු ව්‍යාපාරිකයන් අමාරුවේ වැටෙනවා. ඒ වගේම ජාත්‍යන්තරය හමුවේ මහජන බැංකුවේ කීර්තිනාමයත් විනාශ වෙනවා.

“රට ගැන ආදරයක් නැති ආණ්ඩුව ගොවියාත් බැංකුවත් දෙකම මේ කාබනික ගැටලුවෙන් විනාශ කර දැම්මා. රටට ආදරෙයි කියලා පපුවට ගහගත්තට වැඩක් නෑ කියන එක ජනතාව මෙයින්වත් තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුවට තවදුරටත් මෙහෙම යන්න බෑ. මේ අය අපේ රට විනාශ කරනවා. ගොවියා කෘෂිකර්මයෙන් ඉවත් වීමේ ප්‍රතිඵල අපට දැක බලා ගන්න වෙන්නේ ලබන වසරේදීයි.”

ශිරෝමි අබයසිංහ