― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsසියලු සම්පත් සමඟ කෝටි ගණන් වැටුප් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවන්...

සියලු සම්පත් සමඟ කෝටි ගණන් වැටුප් ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවන් විෂබීජහරණය කිරීමේ යෝජනාවක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයට සුදුසුකම් නොලබා ඉවතට විසි වී යන තත්ත්වයක් තුළ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙත චෝදනා ගණනාවක් එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කණ්ඩායමේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු සම්පත්දී තිබියදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම නිසි මාර්ගෝපදේශ හා පූර්ව සැලසුම් සහිතව මේ තරගාවලියේ සුපිරි අට තරග වටයේ ක්‍රියා කළේද? ඒ සඳහා පුහුණුකරුවන්ගේ කාර්යභාරය කුමක් වූයේද? යන ප්‍රශ්නය පැන නැඟී ඇත. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය පිළිබඳ සැලකිල්ලෙන් සිතා බැලීම කාලෝචිත බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කොට ඉතා සුලු කාලයකදී ජයග්‍රහණ ලැබීමත් ඔහු කණ්ඩායමෙන් ඉවත්ව ගිය පසු පරාජයන් වැලක් අත්වීදීමටත් හේතුව මහේලගේ පූර්ව සැලසුම් හා ඔහු නැති තැනදී ඒ හා සමාන සැලසුම් නැති වීම බව ශ්‍රි ලංකා ක්‍රිකට් තතු දත් ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටියදී උපදේශක මට්ටමේ තනතුරක් ඇති කළ පළමු අවස්ථාව මෙය වූ අතර, එහි යහපත් ප්‍රතිඵල දක්නට ලැබුණු බව පැහැදිලිය.

ජාතික ක්‍රිකට් පිල සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සති දෙකකට ආසන්න කාලයක් කටයුතු කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පන්දුවට පහර දෙන ස්ථාන වෙනස් කොට ක්‍රීඩකයන් තුළ විශ්වාසයක් ගොඩ නැඟූ බවත් සුපිරි අට තරග වටයේදී එවැනි විශ්වසයකින් ක්‍රීඩා කිරීමක් දක්නට නොලැබුණු බවත් සඳහන් කළ යුතුය. එබැවින් ශ්‍රී ලංකා පිලේ දැනට සිටින පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්න කළ යුතු කාලය එළැඹ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ඔස්ට්‍රේලියාවේ ටොම් මුඩි, ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මිකී ආතර්, පිතිකරු පුහුණකරු ලෙස සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆලවර්, දඟ පන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග, වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ ෂේන් මැක්ඩොමට්, භෞත චිකිත්සක ලෙස ඔස්ට්‍රේලියාවේ බ්‍රේට් හැරෝප්, අභ්‍යාසක ලෙස දකුණු අප්‍රිකාවේ ග්‍රාන්ට් ලුඩන් හා දත්ත විශ්ලේෂක ලෙස ශිරන්ත නිරෝෂන් යන මහත්වරු කටයුතු කරමින් සිටිති. මේ සියලු දෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි ගණන් වැටුප් හා වේතන ගෙවමින් තිබේ.

මේ පුහුණුකරුවන් තමන් ලද දැනුම ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සැලසුම් වෙත කෙසේ යොමු කළේද යන්න වගකිව යුත්තන්ගේ අවධානයට යොමු විය යුතු වේ. එය ආපසු හැරී විමර්ශනාත්මකව බැලීම ඉදිරි තරගාවලි ජයග්‍රහණයට අත්‍යාවශ්‍ය සාධකයකි. අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන් අතින් සිදු වන වරදක් දුටු විටදී අඩුම තරමේ එම වරද නිවැරැදි කරගෙන සැලසුම් සහගතව ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාව අතිරේක ක්‍රීඩකයෙකු හරහා ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයා වෙත පණිවිඩයක් මඟින් යැවීමට ක්‍රියා කළේද යන්න පළමුව සොයා බැලිය යුතුවේ.

අවසන් වරට එංගලන්තය හමුවේ හා දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වූ සාජා තණතිල්ලේ හැසිරීම අධ්‍යයනය කොට පන්දු යැවීමට හා පිතිකරණයේ යෙදීමට උපදෙස් දුන්නේ කුමන ආකාරයට ද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. පුහුණුකරුවන් පොත් පෙරළමින් පුහුණු උපදෙස් දෙනවාට වඩා ප්‍රායෝගික තලයේ මතුවන ගැටලු හදුනාගෙන තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම උදෙසා ක්‍රීඩකයන්ට මග පෙන්වූයේ නම් මෙයට වඩා ප්‍රතිඵලය වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වල තිබූ අර්බුද නිමා කිරීමට පසුගිය කාලයේ විවිධ උත්සාහ ගත් ආකාරය ප්‍රශංසනීය වේ. කණ්ඩායම තුළ ඇති කල්ලිවාදය නිමාකොට විනයවත් පසුබිමක් නිර්මාණය කිරීමටත්, විනය කඩ කරමින් හැසිරුණ ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල වැනි දක්ෂ ක්‍රීඩකයන්ට පමණටත් වඩා ඉක්මවා යමින් දඩුවම් පැනවීමත් විනය ආරක්ෂා කිරීමට ගත් වැදගත් පියවරයන් වේ. අර්බුද නිමා වී ඇති පසුබිමක කණ්ඩායම තුළ නිසි සැලසුමක් ගොඩනඟා ගැනීමට පුහුණුකරුවන් අසමත්වීම වර්තමානයේ ඇති බරපතලම කඩා වැටීම වේ.

ඕනෑම ඉනිමක පිතිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් දුර්වල පහරවලින් දැවී යා හැකි වුවද හැම දෙනාම වාගේ එකම වැරැද්ද කිරිම පිළිබඳ වගකීම පුහුණුකරුවන් ගත යුතුය. ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම තාක්‍ෂණය සම්බන්ධයෙන් පාලනය ද පුහුණුකරුවන් සතු ප්‍රධාන වගකීමක් වේ. සන්සුන්ව, බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙලාවලදී, පිතිකරුවන් උමතුවෙන් මෙන් තීරණ ගත් ආකාරයත්, පන්දු යවන්නන් එල්ලයක් නැතිව පන්දු යවන ආකාරයත් වළක්වා ලිය හැක්කේ ක්‍රීඩකයන් සමඟ සිටින ඒ ඒ අංශ වෙත වගකීම් පවරා ඇති පුහුණුකරුවන්ට හැර වෙන කිසිවෙකුට නොවේ.

ඡායාරූපය – ප්‍රින්ස් ගුණසේකර

ප්‍රින්ස් ගුණසේකර අබුඩාබි සිට