― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsඩොලර් හොයන්න ‍වෙල්ලස්සේ ඉඩම් නැවත බිලිදීමේ සූදානමක් – සමන්ත විද්‍යාරත්ත

ඩොලර් හොයන්න ‍වෙල්ලස්සේ ඉඩම් නැවත බිලිදීමේ සූදානමක් – සමන්ත විද්‍යාරත්ත

ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න පවසයි.

ඩොලර් වෙනුවෙන් ඌව වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට දීමට ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවද නැවතත් සැලසුම් සකස් කරමින් ඇති බවත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සඳහා ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කරුණු දක්වමින් ඔහු මේ බව හෙළිකරනු ලැබීය.

මෙම මාධ්‍ය හමුව ඊයේ (08) දින මෙම සමාගමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත අක්කර 372 ක ඉඩමෙහි ගොවි ජනතාවගේ ගොවිබිම් මධ්‍යයේ සිට පැවැත්වීමද විශේෂත්වයකි.

මේ අවස්ථාව සඳහා ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ අනුශාසක , මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී , බිබිල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී , බිබිල බෝධිරුක්ඛාරාම විහාරාධිකාරී , දොඩංගොල්ලේ සෝරත හිමියන් ද , ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ සභාපති නීතීඥ සරත් කුමාර මහතාද අදහස් දැක්වූ අතර ප්‍රදේශයේ ගොවි පිරිසක්ද ඊට සහභාගි විය.

එම මාධ්‍ය හමුවේදී සමන්ත විද්‍යාරත්න දැක්වූ සම්පූර්ණ අදහස් පහතින්….

“ඌව වෙල්ලස්ස බින්තැන්න කලාපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක වටිනා සාරවත් ඉඩම් අක්කර 65000 ක් බහුජාතික සමාගම් සඳහා ලබාදීමට වර්තමාන ආණ්ඩුව ද සූදානම් වෙනවා. 2006 දෙසැම්බර් 6 වන දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට මුලින්ම මේ ඉඩම් බ්‍රිතාන්‍ය බහුජාතික සමාගමක් වූ බූකර්ට්‍රේට් සමාගමට ලබාදීමට එවකට පැවති රජය උත්සාහ ගත්තා.

ඉන් අනතුරුව බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙකී ඉඩම් සිංගප්පූරුවේ gazal ventures බහුජාතික සමාගමට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා. පෙරකී සමාගම් දෙකම ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාලයක් ද බිබිල කේන්ද්‍ර කරගනිමින් තවත් කාර්යාල ද විවෘත කර ගනිමින් මෙම ඉඩම් කොල්ලයට සුදානම් වුණා. නමුත් මේ සියලු උත්සාහයන් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ ලෙස මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් මේ රටේ පරිසරවේදීන් හා පරිසර සංවිධානවල සහාය ද ගනිමින් පසුගිය වසර පහළොවක් පුරාවට අප පරාජය කර තිබෙනවා.

ජනාධිපතිවරු දෙදෙනෙක් ගත් උත්සාහයක් පරාජය කළ අපට තුන්වන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ යටතේද මෙම ඉඩම් කොල්ලය පැරදීවීමට දැන් සිදුවෙලා.
මෙම ඉඩම් දඹාන, පොල්ලෙබැද්ද, රතුගල, ආදිවාසී ජන කොට්ඨාස තුන භුක්ති විඳින මෙන්ම ප්‍රදේශය සාමාන්‍ය ගොවි ජනතාව භුක්තිවිදින ඉඩම් ද අයත් වෙනවා. නිල්ගල ඖෂධ වනය, මාදුරුඔය රක්ෂිත වනය, සේනානායක සමුද්‍රයේ රක්ෂිත වනාන්තර , ප්‍රධාන රක්ෂිත වනාන්තර ගණනාවක ප්‍රේරණ කලාපයන්ගේ ඉඩම් ද මෙලෙස ගොදුරු කර ගැනීමට සූදානම් වෙනවා.

මෙම සමාගමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත අක්කර 372 ක ඉඩම තුළ , පුරාවිද්‍යාත්මක ස්ථාන හතක් හඳුනාගෙන තියෙනවා. ඒ අතර ස්ථූප ගොඩැල්ලක්, කටාරම් සහිත ගල් ලෙනක්, මුරගල්, සඳකඩ පහණ අවශේෂ මේ බිම තුළ හඳුනාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික විශාලතම කටුඋන ප්‍රජාව මේ තුළ පිහිටා තිබේ. ගලඔය, මාදුරාඔය, උල්හිටිය ඔය, හෑපොල ඔය ආදී ප්‍රධාන ජල පෝෂිත ප්‍රදේශ මෙම අක්කර 65000 තුල පිහිටා තිබෙන්නේ.

මීට එරෙහිව අරගල කරන අප හට මහියංගන උසාවියේ නඩු 52 පසුගිය කාලය තුළ රජය විසින් ගොනුකළ අතර, මේ විනාශකාරී ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත්වීමෙන් බදුල්ල මහධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ නඩු කීපයක්ද ගොනු කර තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් ප්‍රදේශයේ අහිංසක ගොවි ජනතාවගේ ඉඩම් සංවර්ධනය උදෙසා මේ මොහොත වන විටත් අතහිත දෙමින් තිබෙනවා. මෙසේ තිබිය දී තමයි රජය මහා පාරිසරික විනාශයකට මග පාදමින්න හදන්නේ.

මේක අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශයක්. මෙවැනි දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරමින් සමාජ ආර්ථික ගැටලු නිර්මාණය කරන මෙවැනි විනාශකාරී ව්‍යාපෘතියකට කිසිසේත් ඉඩ දෙන්න බැහැ. වර්තමාන රජය යටතේ ද නැවතත් බහුජාතික සමාගමක් සඳහා මෙම ඉඩම් ලබාදීමේ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව ආරංචියි. රටේ සම්පත් එකිනෙක විකුණා දමමින් ඩොලර් සොයන ආණ්ඩුව ඓතිහාසික ඌව වෙල්ලස්ස බින්තැන්නේ වටිනා ඉඩම් කුණු කොල්ලයට කොල්ලකෑමට මේ ගන්නා උත්සාහය පැරදීම වෙනුවෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි ඉදිරියටත් ගන්නවා.” යනුවෙන් පැවසීය.