― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalගුප්ත කැබිනට් පත‍්‍රිකාවක්… ශ‍්‍රී ලංකාවට සම්බාධන අවදානමක.

ගුප්ත කැබිනට් පත‍්‍රිකාවක්… ශ‍්‍රී ලංකාවට සම්බාධන අවදානමක.

අප ජාතියක් ලෙස අද සිටින්නේ 1977 සිට ආ විවෘත ආර්ථික ගමනේ කෙළවරක බවත් එම වැරදි සංවර්ධන මොඩලයට එරෙහිව, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමීත්වය මත පදනම් වුණු, ලක්වාසී සියලු ජනී ජනයා සංවිධානාත්මකව හා ඥානාන්විතව පෙළගස්වමින් මේ රට ගොඩනගන, ජනයා සමග තදින් බැඳුණු පාලනයක් කරා මේ රට යොමු කර ගැනීමේ නව ගමනක උත්පත්තියක් බවට මේ මොහොත පත්කර ගැනීම මෙරට සියලු සජ්ජනයන්ගේ වගකීම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියි.

ඇහැලියගොඩ මෝරගල සුවින්රා උත්සව ශාලාවේ දී ‘යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මුලාසනයෙන් පැවති අවස්ථාවේ එහි මූලාසන මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිය දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“දේශපාලනය රඟපෑම හැටියට කරපු අයට, කරන අයට අමාත්‍ය මණ්ඩලය ගත්තා යැයි කියන තීරණයක් පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් තිදෙනෙක් ‘නැහැ! එහෙම තීරණයක් ගත්තේ නැහැ!’ කියා උසාවියට නීතිඥයෙකු යවා කියන එකත් රඟපෑමක්. ඒක රඟපෑමක් නම් මාරාන්තික අවදානමක් තිබෙන රඟපෑමක්. ඉතිහාසයේ කිසිවෙක් එහෙම දෙයක් කර නැත්තේ තම අමාත්‍ය ධුරය පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇතිවන නිසයි. ඒ ගෙනආ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැක්කෙ නැති හින්දා, කියවන්න අතට නොලැබුණු හින්දා, ඔන්ලයින් ගුප්තාකාරයෙන් ගෙනවිල්ලා, පස්සේ සතියේ බලනකොට ‘මහා සාකච්ඡාවකට පසුව අනුමත වුණා’ කියලා කැබිනට් මණ්ඩල තීරණවල තිබෙන හින්දා, ඒක නොතකා අපි කටයුතු කළා.
මේ සිදුවීම වුණාට පසුව අපි කැබිනට් මණ්ඩලයට යා යුත්තේ ඇඳුම් උනලා. නැතිනම් යන්න ඕනේ ‘නැහැ! එහෙම දෙයක් වුණේ නැහැ! මේ කියන්නේ බොරු’ කියලා, අර උසාවියේ තිබෙන නඩු විභාගවලට දෙන්න ඕනේ ශක්තිය දෙමින්. අපි ගත්තේ දෙවන තීන්දුව.(අත්පොළසන්)

තිබුණු ආණ්ඩුව, මේ රට පරාධීනත්වය කරා රැගෙන ගිය ආණ්ඩුවක්, නිදහසින් පසුව ගත් සමස්ත ණය ප්‍රමාණයට සමාන ණය ප්‍රමාණයක් අවුරුදු හතරහමාරකින් ගත්තු ආණ්ඩුවක්. නොතිබුණු ත්‍රස්තවාදයකට පණ දුන්නු ආණ්ඩුවක්, 6.5%කට තිබුණු ආර්ථික වර්ධන වේගය 2.5%කට පහතට ඇද දැමූ ආණ්ඩුවක්. එසේ මේ රටේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කරපු ආණ්ඩුවක් පරද්දලා මේ පාලනය නිර්මාණය කරන්න අපි කැප වුණේ ඒ මහා ජනතා ක්‍රියාන්විතයේ තිබෙන පොදුජන අපේක්ෂාවන්ට රැහැනිව යන්න නොවෙයි. ඒ පොදුජන අපේක්ෂාවන් සපල කරන මාවතේ යන්න.

‘නිව් ෆොට්‍රස් එනර්ජි’ සමග ගිවිසුම ලැබූ ජනවරමට පටහැනියි!

ටෙන්ඩරය කැඳවා තිබියදී ‘නිව් ෆොට්‍රස් එනර්ජි’ කියන ඇමෙරිකානු සමාගමට, ඇමති මණ්ඩලයටත් කොළේ වහලා යුගදනවි බලාගාරයේ 40%ක කොටස් පමණක් නොවෙයි, එහි පරිපාලනය පමණක් නොවෙයි, ලංකාවේ LNG විදුලි බලාගාර සියල්ලටම, සදාකාලිකවම, ඒ සමාගම තීරණය කරන මිලට LNG සැපයීමේ ඒකාධිකාරිය දෙන්න යනවා නම් ඒක ජනවරමට පටහැනියි. ජනවරම හදන්න කරපු කතාවල එහෙම දේවල් කියලා නැහැ. ජනවරම ගොඩනඟන්න කතා නොකරපු අයට ඒවා අදාළ නොවෙන්න පුළුවන්. නමුත් ඒ ජනවරමත් සමග ‘ලේ ඥාතිකමක්’ තිබෙන අපට ඒ ජනවරමට පටහැනිව ගනු ලබන ඕනෑම පියවරකට එරෙහිව සටන් වදින්න පුළුවන්. ඒක රඟපෑමක් ලෙස කවුරුන් හෝ දැකීම, ඒ අයගේ රඟපෑමේ හැකියාව අනුව තිබෙන දෙයක් මිසක් අපට අදාළ දෙයක් නොවෙයි.

‘නසරානි රැළට රතු පාවාඩ එළීම’

එළියෙ ඉඳන් ආණ්ඩුවකට ‘ඇට්ටි හැලෙන්න’ කතා කරන්න කාටත් පුළුවන්. නමුත් ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් ඇතුළේ ඉඳගෙන ඒ යන ගමනේ තිබෙන වරදට එරෙහිව හඬ නඟන්න හැමෝටම බැහැ. 2001 චන්ද්‍රිකා සමග පරිවාස ආණ්ඩුවක් හදලා, ඊට පස්සේ 2004 ආණ්ඩුවක් හදලා, කෙටි කාලයකින් එළියට බහින්න, මම එදා හිටපු පැත්තෙ අයට හිතුනේ ‘ඇතුළේ ඉඳන් මේ වැඩේ කරන එක හරි අමාරුයි. ඒක මහ වදයක්’ කියලා දැනුණු නිසයි. අපි එහෙම නොවෙයි. අපට මේ ආණ්ඩුව පෙරළලා දමලා, අර එළියෙ ඉන්න දේශපාලන නසරානි රැළට බලයට එන්න පාවාඩ එළන්න කිසිම අසනීපයක් නැහැ. වැරදි තීරණ අරන්, ඒ දේශපාලන නසරානි රැළට බලයට ඒමට දැන හෝ නොදැන, රතු පාවාඩ එළන ක්‍රියාන්විතයට එරෙහිවයි අපට සටන තිබෙන්නේ.

අපි දැන් ඉන්නේ ගමනක කෙළවරයි.

එතෙක් පැවැති ස්වදේශීය ආර්ථිකය ගොඩනැගීමේ න්‍යාය පත්‍රය වෙනුවට, මේ රටේ ගොවියා, වැඩකරන ජනයා, රාජ්‍ය ආර්ථික සම්පත් බලගන්වන ඒ ආර්ථික උපායමාර්ගය වෙනුවට ඊනියා කඩිනම් සංවර්ධන උපායමාර්ගයකට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 පටන් ගත්තු ගමන තමයි මේ දක්වා යම් යම් වෙනස්කම් සහිතව හෝ ඉදිරියට ඇවිත් තිබෙන්නේ. එදා සිට එන අතිවිශාල අයවැය හිඟය පියවීම සඳහා ණය ගන්නා මුල් කාලයේ එනවා විසි අවුරුදු සහන කාලයක්. දැන් ඒ සියලු සහන කාල ඉවරයි. දැන් අසහන කාලය තිබෙන්නේ. විවෘත ආර්ථිකයක උත්පාත අවධිය නැගලා යන කාලයක්. එවිට සහන කාල සහිතව ණය ලැබෙනවා. ණයවලින් මංමාවත්, පාලම්, පාසල් ගොඩනැඟිලි ආදිය හැදෙනකොට ඉදිරිකිරීම් කර්මාන්තය ප්‍රසාරණය වෙනවා. ඉදිකිරීම් කර්මාන්තයෙන් පමණක් නොවෙයි, බොහෝ පැතිවලින් මධ්‍යම පන්තියක් නිර්මාණය වෙනවා. ඒ හැදෙන මධ්‍යම පන්තියට ගැලපෙන යටිතල පහසුකම් සැපයීමට සිදු වෙනවා. ඒ අනුව අධිවේගී මාර්ග වැනි ඒවා හැදෙනවා. ඒ වකවානුවේ ඕනෑම ‘හෙට්ටියෙක්’ ණය දෙනවා. ණය දීලා ගන්න තිබෙන හැකියාව අඩුයි, කියලා පෙනෙන නිසා දැන් ඉල්ලුවත් ‘හෙට්ටියෙක්’ ණයක් දෙන්නේ නැහැ.

‘බෙල්ලෙන් අල්ලාගෙන ණය දීම’

මේ රටට අදාළව ගත්තොත් ‘රුපියල් ආර්ථිකයක්’ සහ ‘ඩොලර් ආර්ථිකයක්’ තිබෙනවා. රුපියල් ප්‍රකෝටි ගණන් ගොඩගහලා තිබුණත් එතැන ඩොලර් නැතිනම්, විදේශ විනිමය නැතිනම් විදේශයන්ගෙන් ගෙනැවිත් පරිභෝජනය කරන ද්‍රව්‍යවල අර්බුදයක් ඇති වෙනවා. මෙවැනි අර්බුදයක් ආවාම කලින් කළේ කවුරු හරි ‘හෙට්ටියෙක්ගෙන්’ ණයක් අරන් ඒ අර්බුදය තාවකාලිකව සමනය කිරීම. එවිට අපි කවුරුත් හිතනවා, ‘ප්‍රශ්නයක් නැහැ’ කියා. මෙතැන ‘රොකට් සයන්ස්’ එකක් නැහැ. ගෙදර දොරේ ණය ගැනීමත් එහෙමයි. මුලදී බැංකුවෙන් ගෙදරටම ඇවිත් ණය දෙනවා. මේ වගේ වසංගත කාලයකදී බැංකුව එන්නෙත් නැහැ. ගියත් ණයක් දෙන්නෙත් නැහැ. ‘දැන් තත්ත්වය අවදානම්. ලෙඩා මැරෙන්න එනවා’ කියලා දැක්කොත් ණය දෙන්නේ නැහැ. ලෝකෙත් එහෙම තමයි. දැන් ණය ඉල්ලුවත් දෙන්නෙ නැති කාලේ. බොහොම හිතවත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබෙන රටක් ණය දුන්නොත් මිස අපිව ගිලගන්නම බලා ඉන්න රටවල් මේ වගේ වෙලාවක කරන්නේ, ණය දීලා බෙල්ලෙන් අල්ලාගෙන උන්නැහේලාගේ කොන්ත්‍රාත් ටිකත් ඉටුකරවා ගැනීම.

‘විෂම මනසක් ඇති වීම’

මෙවැනි අර්බුදයක් ආවාම ආනයනික භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඉන්ධන හිඟය හේතුවෙන් දෛනික පැවැත්ම බිඳවැටෙනවා. එවැනි මොහොතක ජනතාවට විෂම මනසක් ඇති වෙනවා, ‘මොකාට මොක දීලා හරි මේ ප්‍රශ්නය ඉවර කරපල්ලා’ කියන. ඕක වුණා ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුහර්තෝගේ පාලන කාලයේ. ඉන්දුනීසියාවේ විශාල ආර්ථික අර්බුදයක් ආවම ලෝක බැංකුව කීවා, ‘අපි දෙන්නම් ඩොලර් බිලියන 03ක්. හැබැයි ඉන්දුනීසියාවේ ‘බණ්ඩා අචෙ(Banda Aceh)’ ප්‍රදේශය ස්වයං පාලන ප්‍රදේශයක් කරන්න ඕනේ. නැගෙනහිර ටිමෝරය වෙනම රාජ්‍යයක් කරන්න ඕනේ’ කියා. සුහර්තෝ කිව්වා ‘නැහැ මම ඒකට එකඟ වන්නේ නැහැ’ කියා. පසුව විරුද්ධ පක්ෂයේ අය ජනතාවත් සමග පෙළපාලි ආවා, ‘ලෝක බැංකුවෙන් ණය අරගෙන අපට කන්න දීපන්. බණ්ඩා අචේ කන්නද? නැගෙනහිර ටිමෝරය කන්නද?’ කියමින්. ඊළඟට ආපු ඡන්දයෙන් සුහර්තෝ පැරදුනා. දිනපු කෙනා ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 03 අරගෙන එයාලා කියපු වැඩේ කළා. නිකම් නොවෙයි කළේ. පොදු ජනයාගේ ආශිර්වාදය ඇතිව. මෙවැනි අර්බුදයකදී පොදු ජනයා යනවා විෂම මනසකට. ගැඹුරු අවධානයකට යන්න තිබෙන ඉඩකඩ වහනවා. සරල ‘ටොෆි – සිගරට්’ වගේ සටන් පාඨ ඉහළට එනවා. දැන් බලන්න, ‘විපක්ෂයේ කවුද කියන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන මාවතක්?’ දැන් අපේ විදේශ වත්කම් සංචිතයේ තිබෙන්නේ ඩොලර් බිලියන එකකට මඳක් වැඩි ගණනක්. 2022 ජනවාරි 18 වැනිදාට පෙර ණය වාරිකයේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 500ක් ගෙවන්න ඕනේ. එක තෙල් නැවක් ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන 300ක මුදලක් අවශ්‍යයි. මේක තමයි විවෘත ආර්ථිකයේ ණයවලින් ‘චූන් එකේ’ ආපු ගමනේ අවසාන අවධියේ මුහුණ දෙන්න වන අභියෝගය. සහරාන්ලාගේ ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු නිසා සහ කොවිඩ් වසංගතය නිසා මේක කලින් ආවා. නැතිනම් තව ටික කාලයක් ඇදගෙන යන්න තිබුණා. එහෙම ඇදගෙන යන එක තමයි අපේ ජයත් නැති – සුන්දරත් නැති පුංචි බණ්ඩා දන්න සාස්තරේ.

‘පුංචි බණ්ඩා’ සැබෑ ලෙසම පක්ෂපාතී කාටද?’

‘පුංචි බණ්ඩාගෙන්’ නම් මේ රටට කිසිම ජයක් හෝ සුන්දරත්වයක් ඇතිවෙලා නැහැ. දැක්කත් මෙලෝ වගතුවක් නැහැ. මොකට තියාගෙන ඉන්නවද, කියා මට නම් තේරෙන්නෙ නැහැ. අවුරුදු 20ක පමණ කාලයක් ඔය ‘පුංචි බණ්ඩා’ මේ රටේ ආර්ථිකය ඔය ක්‍රමයට අරගෙන ගියා. මොකක් හරි ණයක් ගන්නවා. ඊට පස්සේ මොකක් හරි විදිහකට අටවාගෙන යනවා. උන්නැහේ දන්නවා වාහනය ස්ටාට් වෙන්නේ නැත්නම් අර ‘කම්බි දෙක පූට්ටු කරලා’ හරි ස්ටාට් කරගන්න. නමුත් තෙල් නැහැ, කියා එයා දන්නේ නැහැ. තිබෙන තෙල්වලින් තව කොච්චර දුරක් මේ වාහනේ රැගෙන යන්න පුළුවන්ද, කියා එයා බලන්නේ නැහැ. එහෙම බලනවා නම් අද මේ ඇති වෙලා තිබෙන අර්බුදය මීට අවුරුදු ගණනකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනෙ. නායකයන්ට සැබෑ ලෙසම පක්ෂපාතී අයෙකු නම් එහෙම තමයි කළ යුතුව තිබුණේ. එතකොට පැහැදිලියි, මේ වගේ වෙලාවට, ආණ්ඩුව ඇතුළට රිංගලා ඉන්න එකඑක ජාත්‍යන්තර සමාගම්වල පිල්ලි වුණත් බලන්නේ ‘දැන් හරි, අර්බුදය උග්‍රයි. උත්තර හොයනවා, උත්තර නැහැ. එහෙනම් දැන් දෙන්න ඕනේ බෙල්ල මුලින් අල්ලාගෙන. මෙච්චර කල් බැහැයි කියපු දේවල් කරවා ගන්න තැනට පත්කර ගන්න ඕනේ. ඉන්දු – ඇමරිකානු උපායමාර්ගයට යටත් කරන්න ඕනේ.’ කියන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවා ගන්න. එදා ඇමරිකා එක්සත් ජනපදයට උවමනා අන්දමට සෝෆා ගිවිසුම අත්සන් කරපු, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට හදපු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගෙදර යවලා ගෙනාපු පාලනයත් මේ අර්බුදය පාවිච්චි කරලා, බෙල්ලෙන් අල්ලා ගන්නයි හදන්නේ. ‘අපි නුඹලාට ඩොලර් ටිකක් දෙන්නම්. අපි කියන දේ කරපන්’ කියන තැනට අපේ රට ගොදුරු කර ගනිමින් ඉන්නා බවයි පෙනෙන්නෙ.

‘පොහොර ප්‍රශ්නය’

පොහොර ප්‍රශ්නය පිළිබඳ අපේ ස්ථාවරය අපි මීට ඉහතදී කියා තිබෙනවා. මේ වගේ වසංගත කාලයකදී එවැනි අත්හදාබැලීම් කළ යුතු නැහැ. එහෙම දෙයක් කරනවා නම් ගොවි ජනතාව බරපතළ ලෙස දැනුම්වත් කළ යුතුයි. මොකද රසායනික පොහොර සමාගම් විසින් නිලධාරිතන්ත්‍රය ගිලගෙනයි තිබෙන්නේ. ඒ නිසා ලොකු මුදලක් යට කරලා මෙවැනි ඕනෑම ව්‍යාපෘතියක්, ‘අල කරන්න’ ඔවුන්ට පුළුවන්. ඒ ප්‍රතිවිරෝධයේ තරමත් දැනගෙනයි මැච් එකක් ගහනවා නම් ගැසිය යුත්තේ. තව අවුරුදු දෙක තුනකින් මේ දේ කළත් ප්‍රශ්නයක් නැහැනේ. ඒ ප්‍රශ්නයේදී විපක්ෂය මගපෙන්වීමක් දුන්නා ද? මේ රටේ ගොවි ජනතාවට දුන්නු ප්‍රඥාව මොකක්ද? ඒ සටන්වලින් මේ රටේ ප්‍රතිපත්ති තීරකයන්ට ලැබුණු ඥානය කුමක්ද? නමුත් බලන්න ඉන්දියාවේ ගොවියෝ මාස 04 – 05ක් එක දිගට කඳවුරු බැඳගෙන සටන් කරලා, ගොවි ජනතාවගේ නිෂ්පාදන කුණු කොල්ලයට පාවලා දෙන පනත් තුනක් පරාජයට පත්කළා. එතැන තිබුණේ පටු සටන් පාඨ නොවෙයි. දේශපාලන නායකයන්ට පුළුවන් වෙන්න ඕනේ, ගොවියාගෙ ප්‍රඥාව වඩවන සටන් පාඨ ඉදිරිපත් කරමින් එම ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්න.

‘නව ගමනක උත්පත්තියක්’

තමන් ඉදිරිපිට තිබෙන පාලනතන්ත්‍රයට එරෙහිව වෛරී සටන් පාඨ ඉදිරිපත් කිරීමෙන් පමණක් ප්‍රඥාව වඩවාලන්නේ නැහැ. ඒ නිසා අද අපි මේ අර්බුදකාරී, ඓතිහාසික මොහොත හරියටම විග්‍රහ කරගන්න ඕනේ. කල්ගත වී හෝ මුණගැසීමට තිබුණු තීරණාත්මක කඩඉමට අපි ඇවිත් තිබෙන්නේ. මේක එක ගමනක කෙළවරක්. එය නව ගමනක උත්පත්තියක් බවට පත් කිරීමට අපට පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ ඇති වන අර්බුදයෙන් රටට ජයග්‍රහණය දිනා දීමට අපට පුළුවන් වෙන්නේ. මේ වැරදි සංවර්ධන මොඩලයට එරෙහිව ජාතික ආර්ථිකය සවිමත් කරන, නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමීත්වය මත පදනම් වුණු, ලක්වාසී සියලු ජනී ජනයාව සංවිධානාත්මකව, ඥානාන්විතව පෙළගස්වමින් මේ රට ගොඩනඟන, ජනයා සමග තදින් බැඳුණු පාලනයක් කරා මේ රට යොමු කර ගැනීමේ අවස්ථාව බවටත් පත් කරගත යුත්තේත් මේ අර්බුදකාරී අවස්ථාවමයි. (අත්පොළසන්)

‘සජබ මාවත මොකක්ද ?’

සමහරු බලනවා, මේ අර්බුදය පාවිච්චි කරලා තමන්ගේ යම් අරමුණු ඉෂ්ට කරගන්න. දැන් සජබ කට්ටිය සරම කැහැපොට ගහගෙන බලා ඉන්නවා, බලය ලබාගන්න. ඔවුන් බලයට ආවා කියලා ඔවුන්ට තිබෙන මාවත, දර්ශනය, ප්‍රතිපත්තිය මොකක්ද? ඉන්දු – ඇමරිකානු න්‍යාය පත්‍රයට ඉඩ දීලා කීයක් හරි කඩාගන්න මේ ආණ්ඩුවේ ඇතැම් අය හිතනවා නම්, සජබ අය ඒ ගැන ඊට වඩා හිතනවා. ඔවුන්ට තමයි ඒ පිළිබඳ ‘ඔරිජිනල් සහතික’ තිබෙන්නේ. මේ පැත්තේ ඉන්න අයට ඇත්තේ ඩුප්ලිකේට් සහතික. ඒ නිසා මේ තීරණාත්මක අර්බුදය අපි මුහුණ දෙන මේ ආකාරයේ අවසාන අර්බුදය බවට පත් කර ගත යුතුයි. මේ අර්බුදයෙන් එළියට එන්න ඕනේ මීට වඩා ප්‍රතිගාමී දේශපාලන බල කඳවුරකට මේ රටේ ඉරණම තීරණය කිරීමට ඉඩ දීලා නොවෙයි. මේකෙන් එළියට එන්න ඕනේ දෑහිතකාමී, ජනහිතකාමී දේශපාලන ගමනකට අවශ්‍ය ශක්තිය වඩවාලමින්. අපි විශ්වාස කරන්නේ එයයි.

‘යුගදනවි ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට සම්බාධක’

ඒ නිසා තමයි යුගදනවි කැබිනට් පත්‍රිකාව කොලේ වහලා ගහනකොට ඒකට විරුද්ධව අපේ හඬ නැඟුවේ. දැන් ඔය යුගදනවි ගිවිසුමක් ගැන කතා වෙනවනේ. ඒ ගිවිසුම සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. අපි ඒ පිළිබඳව අපේ නිරීක්ෂණ ලිඛිතව ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියට යනවා. ඒ ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජයෙන් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට යම් අගතියක් සිදු වුණොත් එම සමාගමට බලය දී තිබෙනවා, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමයේ රටවල් මගින් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට. ඒක බරපතළ කාරණාවක් බව අපි අපේ නිරීක්ෂණවලින් පෙන්වා දී තිබෙනවා. හැබැයි වැරදිලා හරි එක දෙයක් වෙලා තිබෙනවා. අර අද්භූත, ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවුණු කැබිනට් පත්‍රිකාවේ තිබෙන්නේ ‘මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යුගදනවි ගිවිසුම අත්සන් කොට කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුයි’ කියායි. දැන් මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ආවේ අනුමැතිය ඉල්ලලා නොවෙයි. ‘දැන ගැනීම පිණිසයි’ වගේ. දැන් ඒ පරස්පරය ගැන සාකච්ඡාව ඇමති මණ්ඩලය තුළ වෙනවා.

‘මළකුණක් දැකපු නරි වගේ’

මේ අර්බුදය දිහා මළකුණක් දැකපු නරි වගේ බලන පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ රටේ ජනයාගේ ජීවිත මීට වඩා උසස් කිරීමේ නව මාවතක් ගැන සිහිනයක් නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ ඒ ‘මළකුණෙන්’ මස් ටිකක් කාලා තමන්ගේ බඩ පුරවාගන්න එක විතරයි. ඒ පජාති දේශපාලනයට පයින් ගහලා අපට පුළුවන් වෙන්න ඕනේ, නව මාවතක් වෙතට මෙරට ජනීජනයා පෙළගස්වන්න.

‘ආණ්ඩුවේ යහපත් දේ’

අපි බලයට පත් කළ ආණ්ඩුව, යම් යම් විවේචන තිබුණා වුවත් සාපේක්ෂව කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. වැක්සින්කරණය අතින් ලොව දියුණු රටවල තත්වයට අපි පැමිණ තිබෙනවා. එහි දී ශ්‍රී ලංකාවට ලැබෙන්නෙ 04 වැනි තැන. එවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය කළ නිසයි අපට අද මේ විදිහට මුණගැහිලා කතා කිරීමට ඉඩ ලැබී ඇත්තේ. ඒ සඳහා ඩොලර්වලින් ඉතා විශාල වියදමක් දරා තිබෙනවා. අපි ඒ යහපත් දේ දැකිය යුතුයි. යහපත් දේ දකිනවා වගේම වැරදි ගමනත් අපි දැකිය යුතුයි. එය වැළැක්විය යුතුයි. මේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 තුළ සිටින්නේ, අර ‘අර්බුදය’ නැමැති ‘මළකුණෙන්’ කෑල්ලක් කාලා තමන්ගේ කුස ගින්දර නිවාගන්න අය නොවෙයි. අපිට ඕනේ මේ අර්බුදය ඇතුළේ ජනතාවට නව මාවතක් නිර්මාණය කර දීමටයි. සද්භාවයෙන් යුත් දේශපාලන මග පෙන්වීමකින් පමණයි මෙවැනි තියුණු අර්බුදයකින් ගොඩ ඒමට හැක්කේ. ‘කපටි ආරක්ෂකයන්ට’ ඒ රැකවරණය මේ රටට දෙන්න බැහැ. ඒ චෞර දේශපාලනඥයන්ට ඒ මඟමානවක භූමිකාව ඉටු කරන්න බැහැ. නමුත් අපි හැමෝම මේ රටට ඒ මඟ පෙන්වීම කිරීම සඳහා කැප වූ දේශපාලන කණ්ඩායම්.

‘අමාරු කාලයේ කරගැසීම’

2015 පැරදුනාට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගෙ කඳවුරෙන් රූපවාහිනී සංවාදයකට යවන්න කෙනෙක් කෙනෙක් හිටියේ නැහැ. ගෙවිඳු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, මේ මොහොතේ අපි කෘතවේදීව සිහිපත් කළ යුතු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා වැනි අය, අනෙක් පිරිස ‘යකාට බයේ සොහොනට යන්නේ නැති කාලයේ’ රූපවාහිනී සංවාදවලට ගිහිල්ලා ‘යකාට බය නැතිව’ පිළිතුරු සැපයූවා. අද රංජිත් සොයිසා මැතිතුමන් ජීවතුන් අතර සිටියා නම් බොහෝ විට මේ වේදිකාවේ ඉන්න ඉඩ තිබුණා. අද ‘සුළු’ කියන උදෘතය යටතේ සඳහන් කරන පක්ෂ සහ ඒ සමඟ සිටි කණ්ඩායම් පමණයි ඒ අමාරු කාලයේ ඒවාට කරගැහුවේ. මේකත් ඒ වගේ අමාරු කාලයක්. අපිට යන්න වෙන රටක් නැහැ. ඒ නිසා අමාරු සහ කවුරුත් කරගහන්නෙ නැති අවස්ථාවන්හි කරගහපු අපට මේ තියුණු අර්බුදය හමුවේ මේ රට හරි මාවතට රැගෙන ඒම සඳහා කරගහන්න ඕනෑවටත් වඩා පුළුවන්කම තිබෙනවා. ‘ඒ මහා යුතුකම අපි ඉටු කරනවා’ කියන සහතිකය දෙනවා.(අත්පොළසන්)

‘හරි පැත්තට හෝ වැනසෙන පැත්තට’

ඉදිරියේදී මීටත් වඩා තීව්‍ර වන අර්බුදයක් පාමුල අපි ඉන්නෙ. මුරුගසන් වර්ෂාවට තෙමුණාම, තෙමුණු එකාට හිතෙන්නෙ, නොතෙමුණු එකාට ‘පිස්සු’ කියලයි. මේ ‘මුරුගසන් වර්ෂාව’ නමැති ‘අර්බුදයට’ ඔහේ තෙමුණාම පෙනෙන්නේ ඉතා කෙටි දුරයි. අද ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ධන මිල 58%කින් ඉහළ ගිහිල්ලා. එහි 1940 දශකයෙන් පසුව පෙන්නුම් කරන වැඩිම උද්ධමනය වාර්තා වෙනවා, වගේම වැඩිම නිවාස අහිමි පිරිසක් වාර්තා වෙන්නෙත් මේ කාලයේ. මුළුමහත් ලෝකවාසීන්ම අඩු වැඩි වශයෙන් ජීවත් වීමේ අර්බුදයට මුහුණ පා සිටිනවා. මෙවැනි අර්බුදකාරී තත්වයන් හමුවේ තමයි රටක් හරි පැත්තට හෝ වැනසෙන පැත්තට හෝ හැරෙන්නේ. අර්බුදයක් හමුවේ රටක් වැනසෙන පැත්තට රැගෙන යන්න මාන බලන පිරිස වැඩියි.

‘සාහසික අරමුණු ඉටුකර ගැනීම’

එදා බින් ලාඩන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කළ ‘සැප්තැම්බර් 11’ ප්‍රහාරයෙන් පස්සේ ඔවුන් ඒ ප්‍රහාරයයි, ඒ ප්‍රහාරය විසින් ඇති වුණු අර්බුදයයි, ඒ අර්බුදය විසින් ඇති කළ අවස්ථාවයි, යොදා ගත්තා ඇෆ්ගනිස්තානය, ඉරාකය ඇතුළු මැදපෙරදිග රටවල් අත්පත් කරගන්න. ඒ වගේම ලිබියාව යටත් කරගන්න විතරක් නොවෙයි, සිරියාව මට්ටු කරන්න. අන්න බලන්න ඇමරිකා එක්සත් ජනපදය ඒ අවස්ථාව තම සාහසික අරමුණු ඉටු කරගැනීමට යොදා ගත් ආකාරය. ඒ වගේ මේ අර්බුදය දිහාත් එකඑක්කෙනා එකඑක කෝණවලින් බලනවා. ආණ්ඩුව ඇතුළේ ඉන්න කෙනෙක් හිතනවා ඇති, ‘මේක බිංදුවටම වැටුණොත් හොඳයි. එතකොට අපට පුළුවන් ඇමරිකන් – ඉන්දු න්‍යාය පත්‍රය අනුව, මිනිස්සු විරුද්ධ වුණු වැඩ ටික ඒ අස්සෙම කරලා දාන්න. එතකොට අපට යහමින් විශ්‍රාම ජීවිතය ගත කරන්න පුළුවන්’ කියලා. විරුද්ධ පක්ෂයේ ඉන්න කෙනෙක් හිතන්න පුළුවන්, ‘දැන් මරු. අපට බලය ගන්න ලේසියි. මිනිස්සු රවට්ටලා, ලොකු උජාරු කතා ටිකක් කියලා මේක ගමු. ඒ කරලා ඔන්න ඔහේ යමු’ කියා. එකිනෙකා බලනවා මේ අර්බුදය, තමන්ගේ පටු අරමුණු සහිත න්‍යාය පත්‍රය වෙනුවෙන් යොදවා ගන්න.

‘රටත් ජනතාවත් බලගන්වන දිශාවක්!’

අපට තිබෙන්නේ පටු අරමුණක් නොවෙයි. එදා 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැරදිලා ගෙදර යන විට ‘මහින්ද සුළඟ’ අරඹන්න ඒ ගත්තු තීරණය තුළත් තිබුණේ පටු අරමුණක් නොවෙයි, පළල් අරමුණක්. එදා ඒ අවුරුදු හතරහමාර ඇතුළේ අනන්ත අප්‍රමාණ වද වේදනාවන්ට ලක්වෙමින් අපි ඉටු කළේ පළල් අරමුණකට අදාළ වැඩ කොටසක්.

ඇමතිකම්වලට අවදානමක් ඇති නොවන සේ ‘ශාන්ත දාන්ත තීන්ත කූඩු’ වගේ සිටීම අපට කළ නොහැකියි. අපට තිබෙනවා අත්හළ නොහැකි බැඳීමක්. සෑම ජන ක්‍රියාන්විතයක්ම, සෑම ජන වරමක් වෙනුවෙන් අත්‍යන්තයෙන්ම බැඳුණු වගකීමක් ඉටු කරපු පිරිසක් හැටියට, මහජනයා සමඟ වන සදාචාර බැඳීමෙන් වෙන් වෙන්න බැරි පිරිසක් හැටියට, අන් සියල්ලටම වඩා මහජනයා සමග වන එම සදාචාර බැඳීම වඩා බලසම්පන්නයි, කියා විශ්වාස කරන පිරිසක් හැටියට අපට තිබෙන්නේ අපේ පටු පරමාර්ථයක් ඉටුකර ගැනීම නොවෙයි. මේ අර්බුදය, ව්‍යසනයේ අන්තයට ඇදගෙන යන්න නොදී, ඉන්දු – ඇමරිකා අක්ෂයට ඇදගෙන යන්න නොදී, රට ගිලගන්න බලා ඉන්න විජාතික බලවේගවල න්‍යාය පත්‍රයට උවමනා පරිදි ඇදගෙන යන්න නොදී රටක් ජනතාවත් බලගන්වන දිශාවකට පෙළගැස්වීම සඳහායි මේ මොහොතේ අපි ක්‍රියා කරන්නේ.

මේ අර්බුදය හමුවේ රටත් ජනතාවත් බලගන්වන දිශාවට ගමන් කිරීමට, අපි විතරක් නොවෙයි තව බොහෝ පිරිස් සූදානම් කියා, අපි විශ්වාස කරනවා. විද්වතුන්ට, කලාකරුවන්ට සකල ජනීජනයාගේ සෑම නියෝජනයකටම අපි ඇරයුම් කරනවා, ‘මේ පක්ෂ එකොළහේ හෘද ස්පන්දනය සමඟ ඔබේ හෘද ස්පන්දනයත් එකතු කරලා, මේ අර්බුදය රට වැනසීමේ අර්බුදයක් බවට පත්වීමට ඉඩ නොදී, රට ගොඩනැගීමේ දිශාවට රට මෙහෙයවන අවස්ථාවක් බවට පෙරළන්න අපි සියලුදෙනා එක්ව කටයුතු කරමු’ කියා. අපි සෙසු දේශපාලන පක්ෂවලටත් ඇරයුම් කරනවා, ‘මේ අර්බුදය තමන්ගේ පනම් අට වැඩි කරගන්න යොදා නොගෙන, මේ පොළොවේ ජීවත් වන සජ්ජනීන් හැටියට අපේ රටේ මිනිස්සුන්ට නියම අනාගතය ගොඩනැගීම වෙනුවෙන් අපි සියලුදෙනා එකතු වෙලා ගොඩ ඒමේ මාවත නිර්මාණය කරමු’ කියා. ඒ සඳහා වන ධෛර්යය, ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා’යි පතනවා.

මාතෘ භූමියට ජය වේවා!
ජනතා අභිලාෂයන්ට ජයම වේවා!”

මෙහි දී මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී.

මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම සංවාද කවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර යන මහත්තුරු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,