මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

රටට බත දුන් ගොවියා අනාථ කළ ආණ්ඩුවේ කාබනික වගාව

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

දශක හතරක් එක් රැයකින් ආපසු හරවන්නට ගිය මුග්ධ තීරණ

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සංකල්පයට අනුව ගොවි ජනතාව යනු කෘෂිකාර්මික උරුමයක් සහිත මෙරට සමාජයේ එක් ප‍්‍රබල ස්ථරයකි. දේශපාලනිකව ගතහොත් ඉතාම වැදගත් වූ තීරක බලවේගයකි.

එකී සමාජ බලවේගය හෙවත් ගොවීන් අද සිටින්නේ වත්මන් රජය සමඟ උරණවය. මේ මොහොත න විට රජය කෙරෙහි වන ගොවීන්ගේ අප‍්‍රසාදය උපරිම තැනට ගමන් කර අවසන්ය. රජය ගෙන එන ලද හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ නව වැඩපිළිවෙළ එම තත්ත්වයට බලපෑ එකම හේතුව වී ඇත.

වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් යැයි කී රජය එක් රැයකින් රාසායනික පොහොර තහනමක් පනවා කාබනික පොහොර භාවිතකර වගාවන් සිදුකරපන් යැයි පවසමින් බලහත්කාරයෙන් මෙන් ගොවි ජනතාව ඒ වෙත යොමු කරන්නට යෑමෙන් ගොවියෝ මෙසේ රජය කෙරෙහි උදහස්වූහ.

එකී ගොවි උදහස මේ වන විට කොතෙක් ප‍්‍රබල වී තිබේද කිවහොත් හැටනව ලක්‍ෂයක පොහොරෙන් කල්ප වෘක්ෂයක් සේ වැඩෙනු ඇතැයි සියල්ලන් සිතූ ආණ්ඩුව නමැති ගස යළි මුල සිට පැළ කරන තැනටම දැන් වැඩ සිදුවී අවසන්ය. ජනතා පැතුම් ඉටුකරනු පිණිස මේ නව වසරේදී ගස යළි සිටුවන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සූදානමින් සිටින බවක් ඇතැම්හු කියන්නාහ. එහෙත් ජනාධිපතිවරයා එසේ කළද එදා ලක්‍ෂ හැටනවයක් එක්ව පැළ කළ ඒ ගස යළි මතුකරවන්නට හැකි වනු ඇතිද?

අපට එවන් ගැටලූවක් ඇතිවන්නේ හතර අතේ පැතිරී තිබෙන වල් පැළෑටි සහ ගහේ මුදුනටම ගොඩවී සිටින කඳ පණුවන් මෙන්ම දළඹුවන් වැනි විනාශකාරී පරපෝෂිතයන් තවමත් දකින්නට තිබීම හමුවේය. තත්ත්වය ඒ තරමටම දරුණුය. පලිබෝධ නාශක රෙජිස්ටාර්ව ද ගෙදර යැවුණු, තහනම් කළ මාරක ග්ලියිෆොසේට් ටිකක් හොරෙන් ගෙනවිත් ගැහුවද උන් වඳකරන්නට නම් නොහැකි වනු ඇත.

මෙලෙස වල් පැළ සමඟ වැඞී කඳ පණු උවදුරටද ගොදුරු වී අද කරටිය කැඞී තිබෙන ආණ්ඩුව කෙරෙහි මෙතරම් ගොවි විරෝධතාවක් මතුවීමට හේතුව කුමක් වූයේද? මෙරට ගොවි ජනතාව සිය වගා කටයුතු සඳහා රසායනික පොහොර භාවිතය ආරම්භ කරනු ලැබුවේ මීට දශක හතර පහකට පමණ ඉහතදී විය. අපේ සාම්ප‍්‍රදායික ගොවිතැනින් ඉවත් වූ ගොවීන් එසේ රසායනික පොහොර භාවිතයට හුරු වීමෙන් පසු දිගින් දිගටම විවිධ වස විස අඩංගු පොහොර වගාවන් සඳහා යෙදීම හමුවේ නිරන්තර වස විසට නිරාවරණය වීම හේතුවෙන් ඔවුහු නොයෙකුත් රෝගාබාධයන්ටද ගොදුරු වූහ.

එහිදී ඇතැම් අවස්ථාවල ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබුණද ගොවිතැන් කටයුතුවලදී ඇතිවූ පහසුව සහ ලද ඉහළ අස්වැන්න ආදී වාසි සහගත තත්ත්වයන් තුළ රසායනික පොහොර භාවිතය අතහරින්නට ගොවි ජනතාව කටයුතු කළේ නැත. මේ අන්දමට දශක ගණනාවක සිට කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය නිසා ගොවිබිම්වල පස මෙන්ම පරිසරය පවා එම තත්ත්වයට හුරුවී තිබිණි. පැහැදිලිවම කිවහොත් රටේ කෘෂිකර්මාන්තය පැවතියේ රසායනික පොහොර නොමැතිව පැවැත්මක් නොමැති තැනකය.

ආණ්ඩුව නින්දෙන් ඇහැරුණාක් මෙන් එක් රැයකින් ආපසු හරවන්නට කටයුතු කරනු ලැබුවේ එසේ දශක ගණනාවක් ඈතට විහිදී තිබුණු කතාවකි. මෙරට තුළ රසායනික පොහොර තහනම් කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් අපේ‍්‍රල් මස 27 වැනිදාය. ඒ වන විට රට තුළ යල කන්නයේ වගා කටයුතු ආරම්භ වෙමින් තිබුණු අතර එසේ තිබියදීත් රජය මේ අන්දමට රසායනික පොහොර තහනමක් පනවනු ලැබුවේ යම් කාලසීමාවක් සඳහා රට තුළ රසායනික පොහොර තොග ඇතැයි යන නිගමනයේ සිටිමිනි.

එහෙත් සැබෑව වූයේ එවන් පොහොර තොග කොතැනකවත් නොතිබීමය. ගොවි ජනතාව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ රුවට සමාන පඹයන් ගිනි තබමින් මේ සටහන තබන මොහොත දකවාමත් ලූණු ඇඹුල් ඇතිව බැණ වදින අතරේ අණුඩුවේ රෙදි ගැලවීම අරඹනු ලැබුවේ මෙකී තත්ත්වයත් සමඟිනි.

රසායනික පොහොර තහනම් කරමින් රටේ කෘෂිකර්මාන්තයට ලන්සු තබා හරිත වගාවක් තුළ කාබනික පොහොර භාවිත කරන්නැයි ආණ්ඩුව එසේ ගොවි ජනතාවට දැනුම් දුන්නද ඒ වන විට කාබනික පොහොර ගොවීන් වෙත නිසි පරිදි ලබාදීමේ වැඩපිළිවෙළක්ද ආණ්ඩුවට නොතිබිණි. රජයට තිබුණේ අනාගතයේ කාබනික පොහොර මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලසුම් පමණි. එහෙයින් වගා හානි වුවහොත් වන්දි දෙන්නෙමියි හා කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නා ගොවීන්ට මුදල් ලබා දෙන්නෙමියි කියමින් හිත හැදෙන කතා සමාජගත කරන්නටද එහිදී ආණ්ඩුවට සිදුවිය.

එහෙත් ආණ්ඩුව එසේ හිත හැදෙන කතා කීවද ගොවීහු ඒවාට කන් දුන්නේ නැත. ඔවුහු පොහොර නොමැතිව විනාශ වන වගාවන් දෙස බලා කම්පනයට පත්ව ආණ්ඩුවට දෙස් දෙවොල් තබන්නට වූහ. දශක ගණනාවක කතාවක් අතාර්කික ලෙස එක රැයකින් ආපසු හැරවීමට ගොස් ආණුඩුව ඉල්ලාගෙන කෑ සහ තවමත් කන පොහොර කතාව ආරම්භ වූයේ එසේය. ආරම්භය එසේ සිදුවන විට එක් තැනක දෙතැනක කෙරුණු කාබනික වගාවක් හැරෙන්නට හෙක්ටයාර් ලක්‍ෂ 13 ක් වූ මෙරට වගාකළ හැකි සමස්ත බිම් ප‍්‍රමාණයේ කෙරුණු බොහෝ වගාවන් වූයේ විනාශය වෙත ළඟා විය.

මෙසේ ගොවි විරෝධතා රටපුරා ඇති වෙද්දී වරෙක ආණ්ඩුව සඳහන් කරනු ලැබුවේ කාබනික හරිත කෘෂිකර්මාන්තය යනු සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද සඳහන්ව තිබුණක් බවය. එය සත්‍යයකි. එසේම හරිත කෘෂිකර්මාන්තයක් වෙත මේ රට රැගෙන යෑමද කියා නිම කළ නොහැකි තරමේ මහා කුසලයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකී සංකල්පය එතරම්ම වටිනා එකකි. එහි කතා දෙකක් නැත. මේ රටේ අනාගත පරපුර දහසකුත් රෝග පීඩාදියෙන් මුදා ගැනීමට තිබෙන එකම මාවත ලෙසින් ද එය පෙන්වා දිය හැකිය.

එහෙත් එය කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබුණේ මේ අන්දමටද? ප‍්‍රශ්නය ඇත්තේ එතැනය. අද එකී ප‍්‍රශ්නයට වැදගත්ම පිළිතුර ලබා දෙමින් සිටිනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාය.

උදිත් ජයසිංහයන් යනු මේ රටට සම්පතක් වූ විද්වතෙකි. හෙතෙම කියනුයේ මෙම හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ වැඩපිළිවෙළ දස වසරකින් කි‍්‍රයාත්මක කිරීමට සැළසුම් කෙරුණක් බවය. ‘රටේ විද්වතුන් කණ්ඩායමක් එකතුවෙලා ඉතාම නිවැරදිව ඒ වැඩපිළිවෙළ සැළසුම් කළේ. කිසිම ගැටලූවක් ඇති නොවන ආකාරයට හැම දේම සිදු කළේ. එහෙත් අවසානයේ ඒ කිසිවෙක්ම නොදැන එක්වරම මෙවැනි දෙයක් සිදුවුණා. මේක එක රැයකින්, කන්නයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒත් ඒ බව රජයට, ජනාධිපතිතුමාට දැනුම් දෙන්නවත් කිසිවකුට අවස්ථාවක් ලැබුණේ නැහැ. පිරිසක් සියල්ල ආවරණය කරගෙන හිටියා’.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රට රැගෙන යෑමේ වැඩපිළිවෙළ ඒ අන්දමට දස වසරකින් කි‍්‍රයාත්මක කිරීමට තිබුණක් නම් මේ ආකාරයට එය එක් රැයකින් සිදුකරන තැන දක්වා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළේ කුමක් නිසාද? ඒ පිටුපස සිටියෝ කවරහුද? හැටනව ලක්‍ෂයක බලාපොරොත්තු සුන් කරමින් රජය බිඳ වට්ටවා සියල්ල අල කිරීමේ යෙදී සිටින කිසියම් කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් ජනාධිපතිවරයා සමීපයේ සිටින්නේද? සිදු වෙමින් තිබෙන්නේ විජාතික කුමන්ත‍්‍රණයක්ද?

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ රජයේ එක් රැයක මෙහෙයුම හමුවේ අද රටේ ඇතිවී තිබෙන තත්ත්වය දෙස බැලීමේදී මේවා කිසිසේත්ම බැහැර කළ නොහැකි ගැටලූය. ඉන් එහා අපි කිසිත් නොකියන්නෙමු. මන්ද මුලින් කී කඳ පණු කතාව අපේ සිහියේ තිබෙන නිසාය. මහාචාර්ය උදිත් ජයසිංහ මහතා කියන පරිදි ආණ්ඩුව මෙසේ එක් රැයකින් හරිත කෘෂිකර්මයක් ඇති කරන්නට ගොස් සියල්ල අවුල් වෙද්දී මෙරට සිටින ඉහළම මහාචාර්යවරුන් දසදෙනකු එක්ව ඇතිවූ ගැටලූ නිරාකරණය කරගෙන ඉදිරියට යා හැකි මාවතද රජයට පෙන්වා දී ඇත.

එහෙත් එහිදී අවසානයේ සිදුව ඇත්තේ වයඹ විශ්වවිiාලයේ උපකුලපතිව සිටියදී ජනාධිපතිවරයාගේ ආරාධනයකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරගත් මහාචාර්ය උදිත් ජයසිංහයන්ට කිසිදු හේතුවක් පවා නොදැන අමාත්‍යාංශ ලේකම් ධුරය අතහැර ගෙදර යන්නටය.

ඒ අන්දමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්  ධුරයෙන් හිටි හැටියේ පන්නා දැමූ තමන්ට දරමින් සිටි උපකුලපති ධුරයද අහිමිව ඇතැයි ඒ මහතා සඳහන් කරන්නේය. එය නම් විශාල විකෘතියක් බව නොකියා සිටීමට අපටද නොහැකිය.

ආණ්ඩුවේ හරිත කෘෂිකර්මය හමුවේ රටපුරා ගොවීන් පොහොර ඉල්ලා විරෝධතා දක්වද්දී ආණ්ඩුවේ ආලපාලූ තීරකයෝ වරෙක චීනයෙන් කාබනික පොහොර නැවක්ම ගෙන්වනු ලැබූහ. එහෙත් ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණවලදී එම පොහොර තොගයේ විෂ සහිත බැක්ටීරියාවන් සිටින බවට අනාවරණය වීම නිසා එකී නෞකාව ආපසු හරවා යවන්නට බලධාරීන්ට සිදුවිය.

මේ වන විට එම සිදුවීම හමුවේ අදාළ චීන සමාගමට ඩොලර් මිලියන 6.7 ක මුදලක්ද ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති අතර චීනය සමඟ වූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලටද විශාල බලපෑමක් එල්ල කෙරුණු එම නැවේ කතාව දැන් තිබෙන්නේ ශී‍්‍ර ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙස එකී චීන පොහොර සමාගම චීන රජයෙන් ඉල්ලන තැන දක්වාම දදුරදිග ගොසිනි.

එසේ ගොවි විරෝධතා හමුවේ ගෙන්වූ චීන කාබනික පොහොර ආපසු හරවා යැවෙද්දී වහාම ඉන්දියාවෙන් නැනෝ පොහොර තොගයක් ගෙන්වීමට කටයුතු කෙරුණු අතර පසුව පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය විසින් ආණ්ඩුවට චෝදනා කරනු ලැබුවේ නැනෝ පොහොර ගෙන්වීමේදී විශාල ගසා කෑමක් සිදුකර තිබෙන්නේ යැයි කියාය. ඒ ආකාරයට පොහොර ගැටලූව ඉදිරියේ ගසා කෑම් ආදී වශයෙන් එකී මෙකී නොකී සූරා කෑම් සහ අලජ්ජී කුට්ටි කඩා ගැනීම් පිළිබඳ නොයෙකුත් කතා කියැවුණද ඒ එකකින්වත් ගොවීන්ගේ ගැටලූවට විසඳුමක් ලැබුණේ නැත. මේ අතරේ රජය මගින් රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කළ ගැසට් පත‍්‍රය රිවස් කරනු ලැබූවද අදටත් පොහොර හිඟය එසේමය. මේ වන විට මහ කන්නයද ඇරඹී අවසන්ව ඇත. ගොවීහු තවමත් පොහොර ටික නැතිව විඳවමින් සිටින්නාහ. ඇත්තටම ආණ්ඩුව මේ කරමින් සිටින්නේ කුමක්ද? අද කිසිවකුටත් සිතාගත නොහැකිව තිබෙන්නේද මේ පිස්සුවේ තේරුම කුමක්ද යන්නය.

නැනෝ පොහොර කතාවෙන් පසු දේශීය කාබනික පොහොර යැයි සඳහන් කරමින් පොහොර මිටි තොග ගොවීන්ට ලබාදීමක් ද සිදු කෙරිණි. එහෙත් ඒවා වගාවන්ට දැමීමට ගිය ගොවීන් මාධ්‍ය ඔස්සේ රටටම පෙන්වා දුන්නේ අතින් අල්ලන්නටවත් නොහැකි කසළ ගොඩවල් කාබනික පොහොර ලෙස මළුවල අසුරා තමන්ට ලබාදී ඇති බවකි. මේ අතරේ කාබනික දියර පොහොර තොගයක්ද ඉකුත් දිනවල රටේ ගොවි මහතුන් වෙත ගොවි සංවිධාන හරහා ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි. ඒවා ලබාගත් ගොවීහු කෑන්වල අසුරා තිබූ එම දියර පොහොර වගාවන්ට යෙදීය. එහෙත් අවසානයේ සිදුවූයේ සුනඛයන් රංචුපිටින් කුඹුරුවලට පැන එසේ දියර පොහොර යෙදූ ගොයම් කා දමන්නට වීමය.

එහිදී කෝපයට පත්වූ ගොවි ජනතාව එකී දියර පොහොර සහිත කෑන් පොළොවේ ගසමින් කියා සිටියේ කාබනික පොහොර ලෙස තමන්ට අසූචි කෑන්වල පුරවා ලබාදී ඇති බවය. අපද දන්නා පරිදි අවස්ථාවක් ලදහොත් සුනඛයන් වැසිකිළ වළට හොම්බ දමන බව සත්‍යයකි. ඒ උන්ගේ හැටිය. ඒ දුගඳට සුනඛයන් තොලකට ලෙවකන්නේ අපේ සමහර දේශපාලනඥයන් කොමිස් කුට්ටි ඉදිරියේ හැසිරෙන ආකාරයටය.

මිනිස් අසූචි යනු පොහොරකි. එය එලෙස පොහොරක් වන්නේ නිසි ප‍්‍රමිතියෙන් වේලා විජලනයට ලක් කිරීමෙන් අනතුරුවය. එසේ නොමැතිව වැසිකිළ වළක ඇති අසූචි කිසි විටෙකත් පොහොර වන්නේ නැත. එකී තත්ත්වය තුළ ගොවීන් කියන පරිදි කෑන්වල අසුරා කාබනික දියර පොහොර ලෙස ඔවුන්ට ලබාදී ඇත්තේ අසූචි නම් එසේ කළ අය අසූචි වළක බැස මොලය පෑදෙන තෙක් ඔළුවෙන් සිට ගැනීම ඉතාම කාලෝචිතය. එසේ කියනු හැර වෙන කියන්නට දෙයක් අපට නැත.

මේ අකාරයට අද පොහොර නොමැතිව වගාවන් විනාශ වී විඳවමින් සිටින රටට බත සැපයූ ගොවීන් අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටී සිටියදීත් එකී ගැටලූව විසඳනු පිණිස නිසි යාන්ත‍්‍රණයක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන තෙක් මානයකවත් නැත. සිතාගත නොහැකි පරිදි සියල්ලම අවුල් ජාලාවක් බවට පත්ව ඇත. ගොවියා වෙනුවෙන් පෙනී සිටින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී වශයෙන් ගත් කළ ගොවි නියාමක දක්වා මේ රට තුළ සිටින නිලධාරීහු බොහෝ වන්නාහ. එහෙත් ඇති වී තිබෙන තත්ත්වය හමුවේ කුඹුරට, වගා බිමට ගොස් ගොවීන් ඉදිරියේ පෙනී සිටිමින් ඔවුන්ගේ ගැටලූ පිළිබඳ විමසීමක් කරන්නටවත් එකෙකු නැත. කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ බකන්නිලා ක‍්‍රමවේදයන්ය. අඩුම තරමේ කාබනික වගාව කරනුයේ මෙසේ යැයි දැනෙන පරිදි මෙරට ගම්වල සිටින ගොවීන්ට පෙනෙන ලෙස ආදර්ශ වගාවක්වත් සිදුකළ රටේ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක් තිබේදැයි සැක සහිතය. සියල්ල සිදුවෙමින් තිබෙන්නේ සුපිරි ඇල්වතුර න්‍යායෙන්ය. මේ තත්ත්වය තුළ ඉදිරියේදී දරුණු ආහාර හිඟයක් ඇතිවන බව ඒ පිළිබඳ කරුණු දන්නා ප‍්‍රාමාණික විශේෂඥයෝ සඳහන් කරන්නාහ. එසේ නම් මේ කියැවෙමින් තිබෙන්නේ ඉදිරියේදී රටේ ජනතාවට කන්නත් නොමැතිව විඳවන්නට සිදුවීම තුළ වත්මන් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ බිහිවූ අසාර්ථකම ආණුඩුව ලෙස ඉතිහාස පොතට එක් වෙමින් තිබෙන බවද?

පෙනෙන්නට ඇති ඒ ඇත්ත තුළ ‘‘ඔහොම යං’’ නොව තව ටිකක් ‘‘ඔහොමම යං’’ කියනු හැර වෙන කියන්නට දෙයක්ද දැන් ඉතිරි වී නැත.

සමන් ගමගේ

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news