උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමේදී හා ලියාපදිංචිය සඳහා ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමේදී ‘ජාතිය’ සඳහන් කිරීමට වෙන්කොට ඇති ස්ථානය ‘ශ්‍රී ලාංකික’ යනුවෙන් සඳහන් කිරීමට හෝ කිසිවක් සඳහන් නොකොට ඉරකින් පිරවීමට ඇති හැකියාව සොයා බලා අභියාචනාධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය එලෙස නියෝග කරන ලද්දේ එම කරුණට අදාළව නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් ඉදිරිපත් කොට තිබුණු රිට් පෙත්සමක් විමසුමට ලක් කිරීමෙන් අනතුරුවය.
නීතිඥ බෝපගේ මහතාගේ පෙත්සමෙන් ප්‍රකාශ කර සිටියේ තම දරුවාගේ උපත සහතික කරමින් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකයේ ජාතිය වශයෙන් ‘ශ්‍රී ලාංකික’ යනුවෙන් සඳහන් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවත්, ඔහුගේ එම තීරණය මගින් ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමට බාධාවක් සිදුවන බවයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ තීරණය සහමුලින්ම දෝෂ සහිත වන බවත් පුද්ගලයකුගේ ජිවිතයේ ප්‍රධානතම රාජ්‍ය ලේඛනය වන උප්පැන්න සහතික පත්‍රයේ ‘සිංහල’, ‘දෙමළ’,’මුස්ලිම්’ ආදී වශයෙන් වර්ගීකරණය කරමින් වර්ගය සඳහන් කිරීම රටේ ජාතික සමගියටත්, සංහිඳියාවටත් එල්ල කරනු ලබන මරු ප්‍රහාරයක් බවයි.
එම නිසා අධිකරණය මේ සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි නිගමනයකට එළැඹීම අත්‍යාවශ්‍ය බැවින් මෙය නිවැරදි කිරීමට ඇති හැකියාව පිළිබඳ විමසුමක් කරන ලෙසට ඉල්ලා සිටියේය. සියලු කරුණු සලකා බැලූ විනිශ්චය මණ්ඩලය නීතිපතිවරයාට වැඩිදුර කරුණු විමසීම සඳහා පෙත්සම පෙබරවාරි මස 17 වැනිදා යළි කැඳවීමට නියම කළේය.